නාමල් සජිත් පැටලෙයි…

ජන ජීවිත වේගයෙන් යතාතත්වයට පත් කරමින් රට යළි ගොඩනැගීමේ ක්‍රියාවලියට රජය පූර්ණ වශයෙන් කැපවී ක්‍රියා කරන අතර ප්‍රචාරක වාසි ලබා ගැනීමේ තරඟයක නාමල් රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යෙදී සිටින බව තහවුරු වී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රචාරය කරමින් සිටින්නේ පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට තමන් මුලින්ම යෝජනා කළ බවය. එමෙන්ම නාමල් රාජපක්ෂ ප්‍රචාරය කරමින් සිටින්නේ පාර්ලිමේන්තුව හදිසියේ කැඳවන ලෙස තමන් අග්‍රාමාත්‍ය තුමියට ලිඛිතව දැන්වූ බවයි. එහෙත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුලදී කියා තිබුණේ 2026 වසරට ඉදිරිපත් කර සම්මත කරගත් අයවැය අහෝසි කර පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ යුතු බවය. එහෙත් අයවැය අවසන් විවාදයට එක් වෙමින් මුදල් ඇමති ජනාධිපති අනුර දිසානායක පසුගිය 05වෙනි දින පැහැදැලිව සඳහන් කර සිටියේ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත කර ගැනීමට 19 දින පමණ පාර්ලිමේන්තුව යළි කැඳවීමට සැලසුම් කර ඇති බවය. මෙසේ තිබියදී නාමල් රාජපක්ෂ මේ වනවිට ප්‍රචාරය කර තිබෙන්නේ තමන්ගේ ඉල්ලීම පරිදි 18වෙනි දින පාර්ලිමේන්තුව රැස්වෙන බවය. රට යළි ගොඩනැගීම සඳහා මුලදී රුපියල් බිලියන 500ක දල ඇස්තමේන්තුවක් සකස් කර තිබුණද දැන් එය රුපියල් බිලියන 1,000ක් දක්වා ඉහළගොස් තිබේ.