ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වර්ධන වේගය, ඉදිරි දශකය තුළ මෙරට ශ්‍රම බලකායට අලුතින් එක්වන මිලියනයක පමණ පිරිසකට රැකියා උත්පාදනය කිරීමට ප්‍රමාණවත් නොවන බව ලෝක බැංකුව අනතුරු අඟවයි. Daily MIrror වෙත ප්‍රකාශයක් කරමින් මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ අර්වින්ද් නායර් සඳහන් කළේ, ඉදිරි වසර දහයක කාලය තුළ ලාංකිකයින් ලක්ෂ 10ක් පමණ අලුතින් රැකියා වෙළෙඳපොළට පිවිසෙනු ඇති බවයි. වත්මන් ආර්ථික වර්ධන වේගය එලෙසම පැවතුණහොත්, නිර්මාණය වන රැකියා සංඛ්‍යාව අවශ්‍යතාවයට වඩා බෙහෙවින් අඩු වනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය. "ආර්ථික වර්ධනය මන්දගාමී මට්ටමක පැවතුණහොත් අපට බරපතළ රැකියා හිඟයකට මුහුණ දීමට සිදු වෙනවා. පෞද්ගලික අංශය ආයෝජනය කරමින් නව රැකියා උත්පාදනය කිරීම අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසයි." පසුගිය ආර්ථික අර්බුදයත් සමඟ මෙරට දරිද්‍රතාව දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර, එය යථා තත්ත්වයට පත් කිරීමට නම් ඉහළ ආර්ථික වර්ධනයක් අත්‍යවශ්‍ය බව ද හෙතෙම අවධාරණය කළේය. ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු ආර්ථික විද්‍යාඥ ශ්‍රැති ලක්ටාකියා මෙනෙවිය ප්‍රකාශ කළේ, ආර්ථික අර්බුදයෙන් පසු රාජ්‍ය මූල්‍ය හා විදේශීය අංශවල යම් දියුණුවක් දක්නට ලැබෙන බවයි. ඕනෑම තිරසාර වර්ධනයකට මූලික පියවර වන්නේ ස්ථාවරත්වය බවත්, පෞද්ගලික අංශයේ ආයෝජන දිරිගැන්වීමට එම ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගැනීම වැදගත් බවත් ඇය පෙන්වා දුන්නාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට අනුව 2032 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් ණය ප්‍රතිශතය 95% දක්වා අඩු කිරීමේ ඉලක්කය 3%ක ආර්ථික වර්ධනයක් යටතේ වුවද තාක්ෂණිකව ළඟා කරගත හැකි බව ඇය සඳහන් කළාය. එහෙත් එම වර්ධන වේගය මෙරට ජනතාවගේ අපේක්ෂාවන් සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව ලක්ටාකියා මෙනෙවිය වැඩිදුරටත් පැවසුවාය. 3%ක වැනි අඩු වර්ධන වේගයක් යටතේ ණය ඉලක්ක සපුරා ගැනීමට නම් රජයට දැඩි මූල්‍ය පිරිමැසුම් ප්‍රතිපත්ති (Austerity) අනුගමනය කිරීමට සිදුවේ. එවැනි පීඩාකාරී තත්ත්වයක් දිගුකාලීනව පවත්වාගෙන යාම අසීරුය. 'ඩිට්වා' (Ditwah) සුළි කුණාටුව වැනි ස්වභාවික ව්‍යසනයන් හමුවේ ප්‍රතිචාර දැක්වීමට රජයට මූල්‍යමය ශක්තියක් තිබිය යුතුය. ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට සහ රැකියා උත්පාදනයට මූල්‍ය ස්ථාවරත්වයට එහා ගිය ශක්තිමත් ආර්ථික වර්ධනයක් අත්‍යවශ්‍ය වේ. ලෝක බැංකුව පුරෝකථනය කරන පරිදි මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 3ත් 4ත් අතර අගයක පවතිනු ඇත.