රටේ සංස්කෘතියට අත තියන්න යන්න එපා.. දේශපාලඥයන් තමන්ට අයිති වැඩක් බලාගනු..

මෙරට සංස්කෘතියට කිසිදු දේශපාලනයෙකු අත නොතැබිය යුතු බවත්, සියලු දේශපාලඥයන් ඔවුන්ට අයිති වූ කාර්යයන් කරනවා මිස අයිති නැති කාර්යයන් නොකළ යුතු බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. හංවැල්ල පහත්ගම අප ශුද්ධ වූ ජුසේ මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් අගරදගුරුතුමෝ මේ බව සඳහන් කළහ.‍ෙ “අද සමාජයේ විවාහ ජීවිතය කඩාකප්පල් කරන නොයෙකුත් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එක දෙයක් තමයි ළඟදී අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සකස් කරන ලද ලිංගික අධ්‍යාපනය පිළිබඳ පාඨමාලාවේ මොනවද මේ දරුවන්ට කරන්නේ කියලා. අවුරුදු 6ක වයසේ දරුවන්ගෙන් පටන්ගෙන වැඩිමල් වියට යනකන්ම දරුවන්ට මේ ලිංගික අධ්‍යාපනය තුළින් විවිධාකාර විෂමතා උගන්වලා ඒවා කරන්න පුළුවන්, ඒවා හොඳයි කියලා උගන්වන , මව්පියන්ගෙන් මේ අයිතිවාසිකම උදුරාගත්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමක් අද සමාජයේ පවතින රජව විසින් ඉදිරිපත් කරගෙන යනවා. මේක අපට පිළිගන්න බෑ. අපේ ශ්‍රී ලංකාව තුළ උරුමයෙන්ම ආපු සංස්කෘතියක්, සභ්‍යත්වයක් තියෙනවා. අපි අදහන ආගම් වන බුද්ධාගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම, ක්‍රිස්තියානි ආගම යන ධර්මතා සියල්ලෙන්ම ප්‍රතිපත්තිවලින් සංස්කරණය වුණු මානුෂීය සංස්කෘතික ප්‍රතිපත්ති මාලාවක් තිබෙනවා විවාහ ජීවිතය පිළිබඳව, දරුවන් පිළිබඳව, දරුවන් හදා වඩා ගැනීම පිළිබඳව, ලිංගිකත්වය පිළිබඳව යම් ආදර්ශ මාලාවක්, නීති මාලාවක් සමාජය තුළ සකස් වී තිබෙනවා. නමුත් මේ සියල්ල අතහැර බටහිර ලෝකයෙන් අපිට මුදල් ලැබුණා කියලා ඒ මුදල් වලට වැඳලා ප්‍රතිපත්ති පාවා දෙනවා නම් ඒ කිසිදු රජයකට අයිතියක් නෑ මේ රට පාලනය කරන්න. අපි දේශපාලන ලෝකයේ ඉන්න සියලුම නායකයන්ට කියන්නට අවශ්‍යයි කරුණාකරලා ඔයාලට අයිති වුණු කොටස විතරක් කරන්න. ඔයාලට අයිති නැති දේවල් කරන්න යන්න එපා. මේ අවස්ථාවේ අපි කියන්නේ කරුණාකරලා අපේ රටේ සංස්කෘතියට අත තියන්න යන්න එපා. ” (දිනේෂ් සමරකෝන්)