ගත වූ මාස දොළහකට ආසන්න කාලසීමාව තුළදී, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවදානම් හා තාක්ෂණික කමිටුව මගින් වරින් වර ඖෂධ හා ශල්‍ය උපකරණ කාණ්ඩ 75 කට ආසන්න ප්‍රමාණයක් ස්ථීර වශයෙන් හෝ තාවකාලික වශයෙන් භාවිතයෙන් ඉවත් කොට ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ඖෂධ නියාමන අධිකාරියේ නිල වෙබ් අඩවිය උපුටා දක්වමිනි. මෙලෙස භාවිතයෙන් ඉවත් කරන ලද ඖෂධ අතර මෙරොපෙනම් (Meropenem), ප්‍රෙඩ්නිසිලෝන් (Prednisolone), ඉමිපෙනම් (Imipenem), සෙෆ්ට්‍රියැක්සෝන් (Ceftriaxone), පැරසිටමෝල් (Paracetamol), ග්ලිකසයිඩ් (Gliclazide), ලිවොෆ්ලොක්සසින් (Levofloxacin), ඉමියුනොග්ලොබියුලින් (Immunoglobulin), මෙට්‍රොනිඩසෝල් (Metronidazole), ටෙනෙක්ටෙප්ලේස් (Tenecteplase), සැල්බියුටමෝල් (Salbutamol), නෙටිල්මිසින් (Netilmicin) සහ සේලයින් ඇතුළු ඖෂධ වර්ග හා ශල්‍ය උපකරණ රැසක් අඩංගු වන බව එම වෙබ් අඩවිය පෙන්වා දෙයි. මෙම ඖෂධවලින් වැඩි ප්‍රමාණයක් ඉන්දියාවේ නිෂ්පාදිත ඒවා වන අතර, මීට අමතරව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ජර්මනිය යන රටවල නිෂ්පාදනය කළ ඖෂධ ද ඒ අතර වන බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. තාවකාලිකව භාවිතයෙන් ඉවත් කරන ලද ඉහත සමහර ඖෂධ කාණ්ඩ, පසුව නැවත වරක් භාවිත කිරීමට උපදෙස් ලබා දී ඇති බව ද එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි. ඖෂධ භාවිතයෙන් ඉවත් කිරීමට බලපෑ හේතු අතර ඖෂධ තුළ වීදුරු කැබලි අඩංගු වීම, ඇසට පෙනෙන වර්ණ වෙනස්වීම්, නිෂ්පාදන අමුද්‍රව්‍ය ආශ්‍රිත ගැටලු, නියමිත බ්‍රිතාන්‍ය ඖෂධ සංග්‍රහයේ (BP) ප්‍රමිතීන්ට අනුකූල නොවීම, ලබා දී ඇති පිරිවිතර (Specifications) සම්පූර්ණ නොකිරීම යන කරුණු ප්‍රධාන වේ. මෙවැනි තත්ත්වයන් මත තාවකාලිකව භාවිතයෙන් ඉවත් කරන සමහර ඖෂධ, කාලයක් ගත වූ පසු නැවත රෝහල් පද්ධතිය වෙත මුදා හැරීමට ගන්නා තීරණය පසුගියදා මහත් ආන්දෝලනයකට ලක්විය. මෙරට තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හෝ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමත, ප්‍රමිතිගත රසායනාගාරයක් නොමැති වීම නිසා බාල ඖෂධ රට තුළට පැමිණීමත්, ඒවා මහජනතාව වෙත ගලා යාමත් සිදු වේ. එම නිසා මෙම තත්ත්වය වහා හඳුනාගෙන, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ඖෂධ නියාමන අධිකාරී තත්ත්ව පාලන රසායනාගාරයක් අදියර වශයෙන් කඩිනමින් පිහිටුවීමට රජය අවධානය යොමු කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි. අදාල ලයිස්තුව මෙතනින්...