අනුරගේ විගණකාධිපති ආයෙමත් ප්‍රතික්ෂේප වෙලා

මීළඟ විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද ඕ. ආර්. රාජසිංහ මහතාගේ නමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ. පසුගිය බදාදා පැවති රැස්වීමේදී අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය විසින් ඔහුගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කර තිබුණි. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ජනාධිපතිවරයාගේ නාමයෝජනාවට පක්ෂව සාමාජිකයන් හතර දෙනකු පමණක් ඡන්දය දුන් අතර පස් දෙනෙක් විරුද්ධව ඡන්දය දි ඇත. රාජසිංහ මහතා ශ්‍රී ලංකා හමුදාවේ සේවය කරන නිලධාරියකු සහ හමුදාවේ විගණන අංශයේ සාමාජිකයෙකි. රාජසිංහ මහතාගේ නම ප්‍රතික්ෂේප කිරීමත් සමග විගණකාධිපති ලෙස ස්ථිර හෝ වැඩබලන තනතුරක සේවය කිරීම සඳහා ජනාධිපතිවරයා පසුගිය මාස අට තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කළ නාමයෝජනා හතරක් ව්‍යවස්ථා සභාව විසින් මෙසේ ප්‍රතික්ෂේප කර තිබුණි. පසුගිය සති දෙක තුළ දෙපාර්තමේන්තුවට වැඩබලන විගණකාධිපතිවරයකු පත්කර නොමැති අතර එමගින් ජාතික විගණන කාර්යාලයේ කටයුතුවලට දැඩි බාධා ඇති වි තිබේ.