ජාතික ජන බලවේගය විසින් පාලනය කරනු ලබන කොළඹ මහ නගර සභාවේ ඉදිරි වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය වැඩි ඡන්ද 3කින් පරාජයට පත්ව තිබේ. අද දින පැවැති සභා වාරයේදී අයවැය පිළිබඳ ඡන්ද විමසීම සිදු වූ අතර, එහිදී පාලක පක්ෂයට දැඩි පසුබෑමකට ලක් වීමට සිදු විය. අයවැය යෝජනාවලියට යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද 57ක් හා යෝජනාවට විපක්ෂව ලැබුණු ඡන්ද 60ක් ලැබින. මෙම පරාජයත් සමඟ සභාවේ ඉදිරි පරිපාලන කටයුතු සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම ආරම්භයේ සිටම සංකීර්ණ මුහුණුවරක් ගත්තේය. මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 119ක් වන අතර, කිසිදු දේශපාලන පක්ෂයකට තනිවම ස්ථාවර බහුතරයක් ලබා ගැනීමට නොහැකි විය. මැතිවරණ ප්‍රතිඵල අනුව කිසිදු පාර්ශවයකට 60 සීමාව (බහුතරය) ඉක්මවා යාමට නොහැකි වූ බැවින්, ස්වාධීන කණ්ඩායම් සහ සුළු පක්ෂවල සහාය ලබා ගැනීමට සියලු පාර්ශවයන්ට සිදු විය. ජාතික ජන බලවේගය බලය පිහිටුවනු ලැබුවේද අනෙකුත් පාර්ශව කිහිපයක සහාය මතය. බලය ලබා ගැනීමේ අරගලයේදී පක්ෂ කිහිපයක් එක්ව සභාග පාලනයක් පිළිබඳ සාකච්ඡා කළද, නගරාධිපති ධුරය සහ තනතුරු බෙදාගැනීමේදී එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම නිසා දිගින් දිගටම අර්බුද පැනනැගුණි. වත්මන් අයවැය පරාජය වීමටද ප්‍රධාන හේතුව වී ඇත්තේ පාලක පක්ෂයට සහාය දුන් ඇතැම් කණ්ඩායම් සහ විපක්ෂය එක්ව අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමයි.