සම්පත් මනම්පේරිගෙන් මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් හෙළිවෙයි!

කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සම්පත් මනම්පේරි නැමැත්තා ඊයේ  (24) වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. ඒ අනුව කොළඹ උතුර අපරාධ කොට්ඨාසය දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සම්පත් මනම්පේරි නැමැත්තාව නැවතත් දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. තවද බන්ධනාගාර ගතව සිටි පියල් මනම්පේරි යන සැකකරුද එළැඹෙන ජනවාරි මස (07) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනවිය විසින් නියෝග කර ඇත. මෙම නඩුවේ දෙවන සැකකරුවන සම්පත් මනම්පේරි නැමැත්තාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ කරුණු රැසක් අනාවරණය වූ බව කොළඹ උතුර අපරාධ කොට්ඨාශය වෙනුවෙන් පෙනී සිටි උප පොලිස් පරීක්ෂක V.F.S.පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරයි. එම කරුණු අනුව තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඇති බැවින් සහ සැකකරුගෙන් තවත් කරුණු අනාවරණය කරගැනීමට ඇති බැවින් ඔහුව තවත් දින 90ක් කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ රඳවා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත. විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්ෂ ජයලත් සඳහන් කළේ, සම්පත් මනම්පේරි යන අය තවදුරටත් රඳවා තබාගැනීමට කරන ලද එල්ලීමට තමන් විරුද්ධ බවත් ඔහුගෙන් මෙතෙක් සිදුකරන ලද විමර්ශනවල වාර්තාවක් මෙම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. අනතුරුව දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනවිය විසින් සම්පත් මනම්පේරි නැමැත්තාව නැවතත් දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කළාය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න