වලිකාමම් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් සිව්දෙනකු ඇතුළු කිහිපදෙනකු තමාට දුරකතන ඇමතුම් දෙමින් මරණීය තර්ජන කළ බවට යාපනය දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා තෙල්ලිපලෙයි පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි වාර්තා වේ. මන්ත්‍රිවරයා මල්ලාකම් කන්කසන්තුරෙයි පාරේ පක්ෂ කාර්යාලයක් පවත්වාගෙන යන බවත් මන්ත්‍රිවරයා හෝ ඥාතීන් හෝ පිටස්තර කිසිවකුත් එම ස්ථානයේ නොමැති බවත් මන්ත්‍රිවරයා කොඩිකාමම් මීසාලේ උතුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වීම මත එම පක්ෂ කාර්යාලයටද පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බවත් පොලිසිය පවසයි. පෙරේදා (24) මන්ත්‍රිවරයාට දුරකථන අංක දෙකකින් ඇමතුම් ගෙන මරණ තර්ජන සිදුකරන බවට 119 ඇමතුම් මධ්‍යස්ථානය මගින් තෙලිප්පලේ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දුරකථන පණිවුඩයක් මගින් දැනුම් දී ඇත. එම පණිවුඩය අනුව ස්ථානාධිපතිවරයා මල්ලාකම්, කන්කසන්තුරය පාර පක්ෂ කාර්යාලයට ගොස් පරීක්ෂා කිරීමේදී කිසිවෙක් එහි නොසිටි බැවින් මන්ත්‍රිවරයාගේ පෞද්ගලික දුරකථන අංකයට ඇමතුමක් ගෙන විමසීමේදී ඔහු කොළඹ සිට යාපනයට පැමිණෙමින් සිටින බවත් පොලිස් ස්ථානයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන බවත් ප්‍රකාශ කර ඇත. ඒ අනුව පොලිසිය වෙත පැමිණි මන්ත්‍රිවරයා වලිකාමම් දකුණ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් සිව්දෙනකුගේ නම් සහ විස්තර හා තවත් නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඇමතුම් ලබාගෙන තමාට මරණ තර්ජනය කළ බවට ප්‍රකාශයක් ලබා දී ඇත.