බැක්ටීරියා විෂ සහිත බවට සැක කෙරෙන Ondansetron එන්නත පසුගිය වසරේ සහ මෙම වසරේ නිෂ්පාදනය කර මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇත්තේ වර්තමාන රාජ්‍ය ඖෂධ සංස්ථාව බැවින්, එම ප්‍රසම්පාදන යාන්ත්‍රණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එසේම, මෙරටට ඖෂධ ආනයනය කරන හෝ මෙරට තුළ නිෂ්පාදනය කරන ඇතැම් සමාගම් ගෙන්වන ලද ඖෂධවල ගුණාත්මකභාවය පිරිහී ඇති අවස්ථා පහකට වඩා වාර්තා වී තිබියදීත්, එම සමාගම්වලට සහ දේශීය නියෝජිතයන්ට දිගින් දිගටම අවසර ලබා දීමට ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර ඇති බවත්, එවැනි ඖෂධ භාවිතය නිසා රෝගීන් මියගිය බවට තොරතුරු පවතින බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ. ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියේ වර්තමාන පාලන මණ්ඩලය සම්බන්ධයෙන් ද විමර්ශනයක් පවත්වන ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇත. පසුගියදා භාවිතයෙන් ඉවත් කළ තවත් ඖෂධ නවයකට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වා මාස ගණනාවක් ගතවන තුරුත්, රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ වෛද්‍ය සැපයුම් ඒකකය මඟින් ඒවා භාර නොගෙන නිසි ප්‍රමිතියෙන් තොරව ගබඩා කිරීම නිසා රටට විශාල මූල්‍ය හානියක් සිදුව ඇති බවට සැකයක් පවතින බැවින්, ඊට වගකිවයුතු නිලධාරීන් පිළිබඳව ද පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා තිබේ. බාල ඖෂධ ගැටලුව මුලින්ම ඉස්මතු වූ අවස්ථාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ ද, එම කමිටු වාර්තාව අදටත් රහසක් බව චමල් සංජීව මහතා පැවසීය. වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා ද අදාළ විශේෂඥ වෛද්‍යවරියගේම ප්‍රධානත්වයෙන් නැවත කමිටුවක් පත් කිරීම ප්‍රශ්න සහගත බව පෙන්වා දුන් ඒ මහතා, රෝහල්වල සිදුවන සැක සහිත මරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විනිවිදභාවයකින් කටයුතු නොකරන බවට ද චෝදනා කළේය. බැක්ටීරියා විෂ සහිත එන්නත් පිළිබඳ අනාවරණය වී දැනට සති දෙකකට ආසන්න කාලයක් ගත වුව ද, අදාළ ඖෂධ සාම්පල ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු රසායනාගාරයකට පරීක්ෂණ සඳහා යොමු කළේ දැයි සෞඛ්‍ය අමාත්‍යවරයා රටට හෙළි කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය. මීට අමතරව, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සහ ඖෂධ නියාමන අධිකාරියේ දූෂණ වංචා පිළිබඳ විගණන වාර්තා, කොළඹ ජාතික රෝහලේ විගණන විමසුම් සහ ඖෂධ නියාමන අධිකාරිය සඳහා තත්ත්ව පාලන රසායනාගාරයක් පිහිටුවීමට පවතින ප්‍රමාදය සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය කළ යුතු බව ඔහු සඳහන් කළේය. එමෙන්ම වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත පද්ධතිය වර්තමාන අවශ්‍යතාවලට අනුව යාවත්කාලීන නොවීම ද බරපතළ ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේය. දිවයින පුරා රෝහල් රැසක නිර්වින්දන ඖෂධ, ප්‍රතිජීවක, අක්ෂි ශල්‍යකර්මවලින් පසු ලබා දෙන ඖෂධ, ශල්‍ය උපකරණ, දරුවන්ගේ වලිප්පු පාලන ඖෂධ සහ ශ්වසන රෝග සඳහා වන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක දැඩි හිඟයක් පවතින බව ද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය. -lankacnews මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න