හයේ පොතට සමලිංගික වෙබ් අඩවි දැම්මේ මං නෙමෙයි - නාමල්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට සමලිංගික වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අදාළ විෂය නිර්දේශය සැකසුවේ තමන් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිසියට පැමිණිලි කිරීමෙන් දැන් පලක් නොවන බවයි. "අපි නෙවෙයි සිලබස් එක හැදුවේ, අපි නෙවෙයි පින්ට් එකට ඇරියේ" යනුවෙන් පවසමින් ඔහු මෙම වගකීමෙන් තමන් නිදහස් බව ප්‍රකාශ කළේය. ලෝකයට ගැළපෙන පරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු බව පිළිගත්තද, වර්තමාන රජය ලෝක රැකියා වෙළඳපොළ කියවාගෙන ඇති ආකාරය වැරදි බවත්, ඔවුන් කියවා ගන්නා රැකියා වෙළඳපොළ රටට නොගැළපෙන බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පවතින පාලනය විවේචනය කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මීට පෙර පැවති "හොරාගේ අම්මගෙන් පේන අහනවා" යන න්‍යාය වෙනස් වී, වර්තමාන රජය "හොරාගෙන් පේන අහන තත්ත්වයට" පත්ව ඇති බවයි. බලයට පැමිණෙන විට තනිව ගමනක් යන බව පැවසූ පිරිස්, තමන්ට වාසි සහගත වන විට පිරිස් හොඳ යැයි පවසමින් සහ අවාසි වන විට අගුණ යැයි පවසමින් කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය. “තමන්ගේම වල තමා විසින්ම කපාගන්නා බවයි.විපක්ෂයේ කාර්යභාරය වන්නේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙසට ආණ්ඩුවට බලපෑම් කිරීම බවද නාමල් රාජපක්ෂ පැවසීය. සීනිගම පැවති උත්සවයකදී මාධ්‍ය අමතමින් නාමල් රාජපක්ෂ පැවසුවේ ජාතික ජනබලවේගය පසුගිය වසර පුරා විවිධ ප්‍රවර්ධන සහ දේශපාලන ක්‍රියාකාරකම් සිදු කළ බවත්, එම කාල පරිච්ඡේදය මහජනතාවට විශේෂයෙන් දුෂ්කර වූ බවත්ය. ජාතික ජන බලවේගයේ (NPP) රජය බලයට පත්වීමෙන් පසු දරාගත නොහැකි ලෙස ජනතාව මත  බදු  පැනවීමෙන් මෙන්ම ස්වාභාවික විපත් වලින්ද ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වූ බව ඔහු පැවසීය. ජීවිත බේරා ගත හැකිව තිබූ අවස්ථාවලදී පවා  රජය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වී ඇති අතර මහජනතාවට  දුන් ප්‍රධාන පොරොන්දු ඉටු කිරීමටද  අපොහොසත් වී ඇති බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය. බොහෝ දෙනෙකුට අලුත් අවුරුද්දට අඩිය තැබීමට සිදුවූයේ ආරක්ෂිත මධ්‍යස්ථානවල සහ තාවකාලික කඳවුරුවල රැඳී සිටිමින්, ඔවුන්ගේ ජීවිත සහ ඔවුන්ගේ නිවාස පිළිබඳව අවිනිශ්චිතව සිටිමින් බවත්  නාමල් රාජපක්ෂ පැවසීය. ආපදාවලින් පීඩාවට පත් වූවන්ට ජනාධිපතිවරයා වන්දි ලබා දෙන බවට පොරොන්දු වූ බවද එම පොරොන්දු තවමත් ඉටුකර නොමැති බවද නාමල් රාජපක්ෂ පැවසීය. ආණ්ඩුව වන්දි ලබා දීමට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, අවතැන් වූ පවුල් ඔවුන්ගේ නිවෙස්වල නැවත පදිංචි කිරීමට කඩිනම් පියවර ගත යුතු බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කළේය. "විපක්ෂ පක්ෂ විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කෙරෙහි රජය අවධානය යොමු නොකරන නමුත්, ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතු බවත්  ඔහු අවධාරණය කළේය.