ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදී ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති හතක් පිටුපස ශ්‍රී ලංකාවේ ප්‍රකට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. මෙම ක්‍රීඩකයින් දෙදෙනා ජනාධිපතිවරයාගේ විවිධ වැඩසටහන් වලට සහ මැතිවරණ වේදිකාවල ඉදිරිපෙළ අසුන්ගෙන සිටියේ මෙවැනි ව්‍යාපෘති ලබාගැනීමේ අරමුණින් බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය. ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනා ක්‍රීඩකයින් දෙදෙනෙකු බැවින් ඔවුන්ගේ නම් ප්‍රකාශ නොකරන බව පැවසූ රහුමාන් මහතා, ඔවුන් ජනාධිපතිවරයා පසුපස යමින් ටෙන්ඩර් රහිතව මෙවැනි ව්‍යාපෘති ලබාගෙන ඇතැයිද ඔහු පැවසීය. මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් 2024 නොවැම්බර් මාසයේදී ආයතන හතක් සඳහා බලපත්‍ර නිකුත් කරන ලෙස පුනර්ජනනීය බලශක්ති අධිකාරියට දැනුම් දී ඇති බවයි. මෙගාවොට් 550ක මෙම ව්‍යාපෘති හතම ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදී ඇති බවත්, එය කිසිදු ව්‍යාපෘතියක් ටෙන්ඩර් රහිතව ලබා නොදෙන බවට රජය ගත් කැබිනට් තීන්දුව උල්ලංඝනය කිරීමක් බවත් ඔහු සඳහන් කළේය. මෙම ව්‍යාපෘති හරහා රජයට විශාල මූල්‍ය අලාභයක් සිදුවන බවද මන්ත්‍රීවරයා අනාවරණය කළේය. වසර 20ක කාලය තුළ මෙම ව්‍යාපෘති හරහා රුපියල් බිලියන දැවැන්ත මුදලක් රජයට අහිමි වන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මේවා හරහා කාගේ සාක්කුවලට කොමිස් මුදල් යන්නේදැයි ප්‍රශ්න කර සිටියේය. 2021 වසරේදී ව්‍යාපෘති 47ක් සඳහා ආයෝජකයින් 533ක් ඉදිරිපත් වී තිබියදී, ඉන් ආයතන 7ක් පමණක් තෝරාගෙන මෙලෙස ටෙන්ඩර් රහිතව බලපත්‍ර ලබාදීම බරපතල ගැටලුවක් බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය -lankacnews Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න