අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංකල්ප පත්‍රිකාව පිළිබඳ සාකච්ඡා කිරීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවත්, හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ආන්දෝලනයට පත් පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතිය හිමිව ඇති බවත් අධ්‍යාපන ඇමැති අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංකල්ප සංවාදයේදී අනවශ්‍ය වෙබ් අඩවි ප්‍රචාරණය කිරීමට යොදා නොගත යුතු බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මොඩියුලය තුළ අසභ්‍ය වෙබ් අඩවියක් සඳහන්වීමේ වැරැද්ද මගහරවා ගන්න තිබුණා ධවල පත්‍රිකාවක් හෝ වෙනයම් ක්‍රමයක් මගින් ඉදිරිපත් කර විධිමත් සාකච්ඡාවක් වැඩපිළිවෙළක් ප්‍රතිසංස්කරණවලට පොදු සංවාදයක් කළානම්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ නිශ්චිත සංවාදයක් නොපැවැත්වීම බරපතළ අඩුපාඩුවක්. ඒ නිසා අපි යෝජනා කරන්න කැමැතියි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නවෝත්පාදන, අලුත්වීම, ලෝකයට ගැළපෙන ආකාරයට ප්‍රතිසංස්කරණයවීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. හැබැයි එය සිදුවන විට අනිවාර්යයෙන්ම ඉතිහාසය විෂයත් අනිවාර්ය විෂයක් වෙමින් අපේ කම රටේ කම ඉපැරණි සංස්කෘතිය රැකගනිමින් අසභ්‍ය වෙබ් අඩවි සඳහන් වීම් මගහරවා ගන්න තිබුණා. මම යෝජනා කරනවා නැවත මෙය ක්‍රමවත් ආකාරයට ධවල පත්‍රිකාවක් නිර්මාණය කරලා හැම අංශයක් පිළිබඳවම සත්‍ය වශයෙන්ම විශේෂඥයන්ගේ අවබෝධය ඇතිව නිවැරදි කරගන්න සූදානම්ද? අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංකල්ප පත්‍රිකාව අධ්‍යාපන උපදේශක සභාවේ සාකච්ඡාවක් ගත්තා. ඒක සියලුම මන්ත්‍රීවරුන්ට ලබාදෙන්න පියවර ගත්තා. වෙබ් අඩවියට දැම්මා. ඒ පිළිබඳව පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කළා. මන්ත්‍රීවරුන්ට ආරාධනා කළා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහභාගි වුණා. තව සාකච්ඡා කරන්න වුණත් විවෘතයි. ඕන අවස්ථාවක ඒ සංකල්ප පත්‍රිකාව පදනම් කරගෙන අපිට එය දියුණු කරන්න භාවිතා කරන්න අපි කිසිසේත්ම විරුද්ධ නෑ. අපි සංවාදයට විවෘතයි. මේ මොඩියුල පිළිබඳව සංකල්ප පත්‍රිකාවේ මොඩියුලය අන්තර්ගත නෑ. සංකල්ප පත්‍රිකාවේ තියෙන්නේ සකස් කරන ආකාරයයි. මේ සිද්ධිය වාර්තා වූ වහාම අපි විමර්ශනයක් කළා. ජාතික අධ්‍යාපන ආයතනයේ මොඩියුල පිළියෙල කිරීමේ යම් ක්‍රියාමාර්ගයක් තිබෙනවා. ඒ ක්‍රියාමාර්ගය උල්ලංඝනය වුණේ කොහොමද? මේ වගේ දෙයක් අන්තර්ගත වුණේ කොහොමද? ඒකට වගකිව යුත්තේ කවුද කියන එක ගැන විමර්ශනයක් ආරම්භ කළා. ඒ විමර්ශන වාර්තාව අනුව අපි මූලික විමර්ශනය සඳහා ඊයේ ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාව විනය පිළිඳව වගකියන්නේ ඒ ආයතනය විසින්. රංජිත් ආරියරත්න හිටපු ලේකම්තුමාව පත්කළා මූලික විමර්ශනය පවත්වන්න. ඒ අනුව විමර්ශන සිදුවීම පිළිබඳව ක්‍රමවේදය උල්ලංඝනය වෙලා කොහොමද මෙය සිදුවුණේ කියලා පුළුල් විමර්ශනයක් කරනවා. සිද්ධිය වාර්තා වූ වහාම මේ පොත සීල් කළා. ඒ පොත ළමයින්ට බෙදලා නෑ. ඒ පොතේ ඒ පාඩම අයින් කරන්නත් අපිට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ඒ අනුව ඒ පාඩම අයින් කරනවා. අපි මේ සංවාදය කරන කොට අනවශ්‍ය විදිහට ඒ වෙබ් ලින්ක් ප්‍රවර්ධනය කරන විදිහට කතා නොකර ඉමු. මොකද ඒ පාඩම ළමයින්ට යන එක නවත්වලා තියෙන්නේ. ඒ නිසා වෙච්ච වැරැද්ද දැකපු නිසා විමර්ශනයක් කරමින් ක්‍රියාමාර්ග ගන්න අතර ඒක පිළිබඳව කතා කරමු, සංවාද කරමු මෙය ශක්තිමත් කිරීමට නව යෝජනා තිබෙනවා නම් සතුටින් භාරගන්නවා. ඒ වගේම සංකල්ප පත්‍රිකාව පිළිබඳ තවත් සාකච්ඡා කරන්න අවශ්‍ය නම් එයටත් අපි විවෘතයි. රනිල් ධර්මසේන මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න