වැනිසියුලානු හිටපු නායක නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසුව, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද එලෙසම අත්අඩංගුවට ගත යුතු බවට යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි කළ ඉඟිය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇත. පුටින් කෙරෙහි තමා දැඩි ලෙස කලකිරීමට පත්ව සිටියද, එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍ය නොවන බව ට්‍රම්ප් අවධාරණය කළේය,. පසුගිය සතියේ කැරකස් අගනුවරදී ඇමරිකානු 'ඩෙල්ටා ෆෝස්' බලකාය විසින් සිදු කරන ලද හදිසි මෙහෙයුමකදී නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගන්නා ලදී. අලුත් අවුරුද්ද උදාවී දින කිහිපයකට පසු මදුරෝව තම නිවසේ සිටියදීම අත්අඩංගුවට ගෙන නිව්යෝර්ක් බන්ධනාගාරයක් වෙත රැගෙන යන ලදී. මෙම සිදුවීමත් සමඟ, යුක්රේන නායක සෙලෙන්ස්කි අදහස් දක්වමින් කියා සිටියේ ඒකාධිපතියන්ට මෙලෙස සැලකිය යුතු නම්, ඇමරිකා එක්සත් ජනපදය මීළඟට කළ යුත්තේ කුමක්දැයි දන්නා බවයි. සෙලෙන්ස්කිගේ මෙම ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ට්‍රම්ප් පැවසුවේ, රුසියානු ජනාධිපතිවරයා සමඟ සැමවිටම යහපත් සම්බන්ධතාවයක් පැවති බැවින් එවැනි මෙහෙයුමක් අවශ්‍ය නොවනු ඇති බවයි. "මම යුද්ධ අටක් සමථයකට පත් කළා. මෙයත් මැද මට්ටමේ හෝ සමහර විට පහසුවෙන් විසඳිය හැකි එකක් වනු ඇතැයි මම සිතුවා," යැයි ට්‍රම්ප් ප්‍රකාශ කළේය. රුසියානු-යුක්රේන ගැටුම හේතුවෙන් සිදුවන මරණ පිළිබඳව කනගාටුව පළ කළ ජනාධිපතිවරයා, පසුගිය මාසයේ පමණක් රුසියානු සෙබළුන් ඇතුළුව 31,000 ක පිරිසක් මිය ගොස් ඇති බව සඳහන් කළේය. රුසියානු ආර්ථිකය ද මේ වන විට දුර්වල මට්ටමක පවතින අතර, මෙම ගැටුම ඉක්මනින් අවසන් කිරීමට තමා බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය. ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව යුක්රේනයේ සිදු කළ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් දැනටමත් වරෙන්තු නිකුත් කර ඇත. මේ අතර, මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු වැනිසියුලාවේ උප ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් එරට ජනාධිපති ධුරයට පත්ව ඇති අතර, ඇමරිකානු රජය වැනිසියුලාවේ තෙල් අපනයනය පාලනය කිරීමට සූදානම් වෙමින් සිටී