අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අධ්‍යාපනයේ වගකීමෙන් රජය ඉවතට... ලෝක බැංකු ව්‍යාපෘතිය පෙරටම!

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෝක බැංකුවේ ව්‍යාපෘතියකට අනුව අධ්‍යාපනයේ වගකීමෙන් රජය ඉවත් වෙන නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදු කරන නව ලිබරල් ධනවාදයට උචිත ලෙස අනාගත පරම්පරා ශික්ෂණය කරන ප්‍රතිගාමී ව්‍යාපෘතියක් යයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පවසයි. එහි අධ්‍යාපන ලේකම් පුබුද් ජයගොඩ මහතා මේ අදහස් පල කලේය. 6 වසර මොඩියුල ක්‍රියාත්මක කිරීම කල් දැමීමට අදාළ හේතු තුනක් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. පළමුවැන්න මොඩියුල සකස් කිරීමේ ගැටළු. තවම මොඩියුල හදලා තියෙන්නේ පළමු වාරයට විතරයි. ඉතිරි වාර දෙකේ මොකක්ද උගන්වන්නේ කියලා අධ්‍යාපන අමාත්‍යංශය දන්නෙත් නෑ, ජාතික අධ්‍යාපන ආයතනය දන්නෙත් නෑ. 1 වසරේ සිට 11 වසර දක්වා එක් එක් විෂයයට අදාළ විෂය කරුණු බෙදාහරින විදිය හිතලාවත් නෑ. අනෙක ජනාධිපතිවරයාම කියන ලෙස කඩිමුඩියේ හදපු මොඩියුල් කීපයේත් ගොඩක් තාක්ෂණික දෝෂ. මොඩියුල් 14ක වැරදි 147ක් නිරීක්ෂණය වෙලා පැමිණිලි ලැබිලා තිබුණා. කොහොමත් ඒ තත්වය යටතේ මේවා ළමයින්ට දෙන්න බෑ. අළුත් ඒවා කරන්න වෙලාවත් මදි. තුන්වැනි කරුණ මේ ලියපු මොඩියුල් සියල්ලටවත් ගුරු පුහුණු කරලා නෑ. පුහුණුවක් නැතිව වැඩේ පටන් ගන්නේ කොහොමද? ඕක තමයි මුල ඉඳලා කිව්වේ කඩිකුලප්පු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවට කාලය අරන්, සමාජ සංවාදයක් හදලා, හොඳ ප්‍රතිසංස්කරණයක් කරන්න කියලා. ජනාධිපතිගේ පැත්තෙන් මේක කල් දානවා හැර වෙන විකල්පයක් නෑ කියලා එතුමා ලියලා තියෙන එකෙන් පේනවා. අනෙක් අය කෙඳිරි ගෑවට වැඩක් නෑ. නමුත් මේ යෝජිත ප්‍රතිසංස්කරණයම ලෝක බැංකුවේ ව්‍යාපෘතියකට අනුව අධ්‍යාපනයේ වගකීමෙන් රජය ඉවත් වෙන, නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදු කරන, නව ලිබරල් ධනවාදයට උචිත ලෙස අනාගත පරම්පරා ශික්ෂණය කරන ප්‍රතිගාමී ව්‍යාපෘතියක්. ලබන අවුරුද්දේවත් මේක කරන්න ඉඩ නොදිය යුතුයි. සමකාලීන අධ්‍යාපනයේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන ඇත්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. ගෝඨා පත්කල උපාලි සේදර කමිටුවෙයි, රනිල් පත්කල ටිරාන් අලස්ගේ මල්ලිගෙ කමිටුවෙයි, ජේ.ආර්. ගේ ධවල පත්‍රිකාවෙයි කැළි අරන් කවලම් මැල්ලුමක් හදනවා වෙනුවට අඩුම ගානේ ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදන කමිටුවෙන් හෝ උපදේශයක් ලබාගෙන, මූලික ප්‍රතිපත්‍තිමය ලේඛනයක් හදන්න කියලා ජාතික අධ්‍යාපන කොමිසමට භාර දෙන්න. නැතිනම් අවුරුද්දකට පස්සේත් මොංගල් විපක්ෂය චූන් කරලා රිවර්ස් වන්නම නටන්න තමා ආණ්ඩුවට වෙන්නේ..