අකුරේගොඩ ද්විත්ව මිනීමැරුම කළ ඝාතකයෙක් අත් අඩංගුවට…

අ කුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඉලක්ක කර ගනිමින් ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. අම්බලන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු යුද හමුදාවෙන් පලා ආ අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, අදාළ ද්විත්ව ඝාතනය මොහු විසින්ම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී තහවුරු වී ඇත. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ විෂය භාර අමාත්‍යවරයා, අපරාධයට සම්බන්ධ පුද්ගලයින් සහ නඩු භාණ්ඩ පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කළේය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ අපරාධයට සම්බන්ධ වාහනය බද්දේගම ප්‍රදේශයේදී ගිනි තබා විනාශ කර තිබියදී සොයාගත් බවත්, අපරාධය සඳහා ගිනි අවි ලබාදීමට පැමිණි රථය කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවත්ය. එසේම, රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියෙන් වෙඩි තැබූ සැකකරු රුක්ගහවෙල පදිංචි රූබට් සුරේෂ් නැමැත්තෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, වෙඩික්කරුවන් නවාතැන්පොළ වෙත කැඳවාගෙන ආ රථයේ හිමිකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි වන්නිආරච්චිගේ සිහින දිල්සර නැමැත්තෙකු බවද අමාත්‍යවරයා එහිදී හෙළිදරව් කළේය. මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. එමෙන්ම ඝාතකයාගේ හැඩරුවට සමාන හැඩ රුව සහිතව කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කළ ඡායාරූප පෙළක් ද සියලුම මාධ්‍ය හරහා බෙදා හැර සැකකරු අත් අඩංගුවට ගැනීමට උපකාර කරන ලෙස පොලිසිය මහජන සහාය ද පැතුවේය. වෙඩික්කරු අත් අඩංගුවට ගන්නේ මේ සියලු ආකාර මෙහෙයුම් පවත්වාගෙන යන අතරය. මේ අතර, වෙඩික්කරුට පන්නිපිටිය ප්‍රදේශයේ නවාතැන් පහසුකම් සලසා දී මෙම අපරාධය මෙහෙයවූ බවට සැකකෙරෙන කහදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කටුනායක ගුවන්තොටුපළ හරහා තායිලන්තය බලා පලාගොස් ඇති බව වාර්තා වෙයි. ඔහු ප්‍රබල අපරාධකරුවෙකු වන ‘කරන්දෙණියේ සුද්දා’ නැමැත්තාගේ සමීපතමයෙකු බවට පොලිසිය සැක කරයි. අපරාධ විමර්ශන කොට්ඨාසය අද (21) පස්වරුවේ විශේෂ මෙහෙයුමක් දියත් කරමින්, වෙඩික්කරු ප්‍රවාහනය කිරීමට යොදාගත් මෝටර් රථය මෙන්ම තායිලන්තයට පලාගිය සැකකරු ගුවන්තොටුපළ වෙත ගමන් කිරීම සඳහා කුලී පදනම මත ලබාගත් මෝටර් රථය ද තම භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.. akuregoda shooting case news