කොළඹ ජනප්‍රිය බෞද්ධ පාසල් දෙකක ශිෂ්‍ය නායක මහා ක්‍රිකට් තරගය ගුටි බැට හුවමාරුවකින් අවසන් වෙයි

කොළඹ ජනප්‍රිය බෞද්ධ පාසල් දෙකක මහා ක්‍රිකට් තරගයට පෙර පැවැත්වෙන සාම්ප්‍රදායික ශිෂ්‍ය නායක මහා ක්‍රිකට් තරගය සම්ප්‍රදාය කඩ කිරීමේ තත්ත්වයක් මත ගුටි බැට හුවමාරුවකින් අවසන් විය. මරදානේ පැවති මෙම තරගයේදී, එක් පාසලක ශිෂ්‍ය නායකයින් සම්ප්‍රදාය කඩ කරමින් මේ වසරේ මහා ක්‍රිකට් තරගයේ කැප්ටන්වරයා ශිෂ්‍ය නායක තරගයට බැට් කිරීමට යොදවා තිබීම ගැටුමට මුලපිරීමක් වී ඇත. සාම්ප්‍රදායිකව බිග් මැච් සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින් මෙම තරගයට සහභාගී කර නොගැනීම පිළිගත් නීතියක් ලෙස සැලකේ. එය උල්ලංඝනය කිරීම පිළිබඳව අනෙක් කණ්ඩායමේ ශිෂ්‍ය නායකයින් දැඩි විරෝධය පළ කර ඇති අතර, එය වාද විවාදයකට සහ පසුව ගැටුමකට පෙරළී ඇත. තරගය ජය ගැනීමේ අරමුණින් මෙවැනි අසම්මත ක්‍රියාවක් සිදු කර ඇති බවට චෝදනා එල්ල වූ අතර, එම තත්ත්වය ප්‍රතිවිරුද්ධ පිලේ කෝපයට හේතු විය. අවසානයේ දෙවිදුහල් විදුහල්පතිවරු මැදිහත්ව ගැටුම සමනය කළද, ඒ වන විට ආගන්තුක පිලේ ශිෂ්‍ය නායකයින්ට ශාරීරික හානි සිදුවී තිබූ බව වාර්තා වේ. තරගයේ ප්‍රතිඵලය ලෙස සත්කාරක මරදානේ පිල ලකුණු 162ක් රැස් කළ අතර, එම ලකුණු සංඛ්‍යාව කඩුලු 2ක් පමණක් දැවී ලබාගත් ආගන්තුක පිලට ජය හිමි විය. සිද්ධිය එතැනින් නිමා වූවද, අළු යට ගිනි නිවී නොමැති බවත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා ක්‍රිකට් තරගය අතරතුර නැවතත් ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත විය හැකි බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.