“නීතිඥයා සහ බිරිය ඝාතනය කළේ කරන්දෙණිය සුද්දාගේ ලක්ෂ දෙකක ණයක් ගෙවන්න” - වෙඩික්කරු කියයි

තලං­ගම, අකු­රේ­ගො­ඩදී නීතිඥ බුද්ධික මල්ල­වා­රච්චි සහ ඔහුගේ බිරිය වෙඩිතබා ඝාත­නය කිරී­මට සම්බන්ධ ප්‍රධාන වෙඩි­ක්කරු වන හිටපු හමුදා සෙබළා අත්අ­ඩං­ගු­වට ගැනී­මත් සමඟ මේ ද්විත්ව ඝාත­නය හා බැඳුණු වැද­ගත් තොර­තුරු රැසක් අනා­ව­ර­ණය වී තිබේ. මේ සැක­කරු විසින් තවත් ඝාතන රැසක් සිදු කර ඇති බවට තොර­තුරු ද හෙළිවී ඇත. අත්අ­ඩං­ගු­වට ගත් වෙඩි­ක්කරු බද්දේ­ගම පදිංචි 46 හැවි­රිදි අයකු වන අතර, අධික ලෙස මත්ද්‍රව්‍ය භාවි­ත­යට ඇබ්බැහි වී සිටි­න්නෙකි. හෝමා­ගම කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශයේ නිල­ධා­රීන් විසින් පසුගිය (21) සිදු කළ මෙහෙ­යු­ම­කින් පසු අම්බ­ල­න්ගොඩ පොලිස් වසමේ දෙල්දූ­වේදී සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනිණ. සැක­කරු ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ ඇති බල­තල අනුව දින 90ක් රඳවා ප්‍රශ්න කිරී­මට අව­සර ලැබුණු බව හෝමා­ගම කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­කය පැව­සිය. අත්අ­ඩං­ගු­වට ගන්නා විට ඔහු රැඳී සිට ඇත්තේ මිතු­ර­කුගේ නිවෙ­සක බවත්, ඔහු එම නිවෙස ආස­න්නයේ ඇති කුරුඳු ඉඩ­මක කම්ක­රු­වෙකු ලෙස වැඩ කර­මින් සිට ඇති බවත් සඳ­හන්ය. නීතිඥ බුද්ධික මල්ල­වා­රච්චිට ටී 56 ගිනි අවි­යෙන් වෙඩිතබන්නේ මේ සැක­කරු විසින් බව පොලී­සිය සඳ­හන් කරයි. මේ වෙඩි­ක්කරු යුද හමු­දාවේ හිටපු සෙබ­ළෙකි. 2009 වසරේ දුන් පොදු සමා කාලයේ ඔහු නීත්‍ය­නු­කූ­ලව යුද හමු­දා­වෙන් ඉවත් වූ අයෙක් බව ද විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණ­ය වී තිබේ. වෙඩි තැබී­මෙන් පසු සැක­කරු කිලෝ­මී­ටර් 2ක් පමණ මෝටර් රථ­යෙන් ගමන් කර මාර්ගයේ ගමන් කර­මින් තිබූ බස් රථ­ය­කට ගොඩවී කොට්ටා­වට පැමිණ ඇත. ඉන්පසු මහ­ර­ගම සිට දෙහි­ව­ලට බස් රථ­ය­කින් නැවත ගමන් කර ඇත. පසුව සැක­කරු දෙහි­ව­ලින් අම්බ­ල­න්ගොඩ බස­ය­කට නැඟ තිබේ. මේ සැක­කරු කර­න්දෙ­ණිය සුද්දාගේ හිත­ව‍තෙක් බව ද අනා­ව­ර­ණ­යවී තිබේ. යම් සිදු වීමක් සම්බ­න්ධ‍යෙන් මොහු බන්ධ­නා­ගා­ර­ගත කර සිටි­යදී ඇප ගැනී­මට අවශ්‍ය සහාය කර­න්දෙ­ණිය සුද්දා විසින් දී ඇතැයි ද සඳ­හන්ය. කර­න්දෙ­ණිය සුද්දා විසින් මොහුට වි‍‍‍ටින් විට මුදල් දී ඇති බව ද ප්‍රශ්න කිරී­මේදී හෙළිවී ඇත. තමා රුපි­යල් ලක්ෂ දෙකක් කර­න්දෙ­ණිය සුද්දාට ණය බවත්, එම ණය වෙනු­වෙන් මේ ඝාත­නය කළ බවත් සැක­කරු කියා තිබේ. අවු­රුදු 13ක් මිනිස් ඝාත­න­ය­කට හිරේ සිටි සැක­කරු 2020 නිද­හස් වී ඇති අතර, මොහු කර­න්දෙ­ණිය සුද්දාගේ ගමේම අස­ල්වැ­සි­යක් බවත්, හමු­දාවේ දෙදෙනා එකට සිට ඇති බවත් අනා­ව­ර­ණ­යවී ඇත. මොහු පසු­ගිය 10 වැනිදා කොළ­ඹට පැමිණ ඇත්තේ කර­න්දෙ­ණිය සුද්දාගේ කීම­ටය. ‘‘වැඩක් කරන්න තිබෙ­නවා’’ කියා කර­න්දෙ­ණියේ සුද්දා තමන්ට පැමි­ණෙන ලෙස දැනුම් දුන් බවත්, ඝාත­නය කිරී­මට ඇත්තේ නීති­ඥ­යකු බව දැන ගත්තේ එදින උදෑ­සන බවත් සැක­කරු පවසා ඇත. මේ සැක­ක­රුගේ ජංගම දුර­ක­ත­නය ද පොලී­සිය සිය භාර­යට ගෙන ඇත. දත්ත විශ්ලේ­ෂණ මඟින් ද තොර­තුරු රැසක් අනා­ව­ර­ණය කර­ගැ­නී­මට හැකිවී තිබේ. මේ වෙඩි තැබී­මට සම්බන්ධ දෙවැනි වෙඩි­ක්කරු ද පොලී­සිය විසින් හඳු­නා­ගෙන ඇත. ඔහු ද මෝටර් රථ‍‍යෙන් අත­ර­ම­ඟින් බැස ඇතැයි ද අනා­ව­ර­ණ­යවී තිබේ. නීතිඥ බිරි­යට රිවෝ­ල්ව­ර­ය­කින් වෙඩි තබන්නේ ඔහුය. පන්සල පාර, මීවල, රුක්ග­හ­වෙල පදිං­චි­ක­රු­වෙකු වන ඔහු රූබන් සුරේෂ් ලෙස හඳු­නා­ගෙන ඇතැයි මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල මහතා පාර්ලි­මේ­න්තු­වේදී පසු­ගිය 20 වැනිදා අනා­ව­ර­ණ­යක් ද කළේය. ජින්තු­පි­ටි­යේදී පසු­ගිය 14 වැනිදා රාත්‍රී කාලයේ බාබර් සාප්පු­වක සිදු වූ වෙඩි තැබීමේ වෙඩි­ක්කරු ලෙස කට­යුතු කර ඇත්තේ ද මොහු බව ඇමැ­ති­ව­රයා මෙහිදී පැව­සීය. මේ වෙඩි­ක්ක­රු­වන් දෙදෙ­නාම පන්නි­පි­ටිය හා ඒ ආශ්‍රිත හෝටල් දෙකක පෙර දිනයේ රඳවා තැබී­ම­ටත්, එකි­නෙකා මුණගැසී ඇත්තේ වෙඩි තැබූ දින මෝටර් රථ­යේදී බවත් පොලී­සිය සඳ­හන් කරයි. මේ වන විට පළා­ගොස් සැඟව සිටින සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මට මහ­ජන සහාය පත­මින් පොලිස් මූල­ස්ථා­නය ඔහුගේ ඡායා­රූප රැසක් මාධ්‍ය­යට ඉදි­රි­පත් කරනු ලැබීය. ඒ ඔහුගේ සැබෑ ඡායා­රූ­ප­යක් සහ එම ඡායා­රූ­පය මඟින් පෙනුම වෙනස් කර ඔහු සිටිය හැකි ආකාර දැක්වෙන AI තාක්ෂ­ණ­යෙන් නිර්මා­ණය කළ ඡායා­රූප ද සහි­ත­වය. පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක කාර්යා­ලය විසින් මාධ්‍ය­යට නිකුත් කළ එම ඡායා­රූප සමඟ ඉදි­රි­පත් කර ඇති තොර­තු­රු­ව­ලට අනුව සැක­කරු උස අඩි 05යි අඟල් 05ක් පමණ වන 44 හැවි­රිදි වියේ පසු­ව­න්නෙකි. මොහු සම්බ­න්ධ­යෙන් යම් තොර­තු­රක් වෙතොත් බස්නා­හිර පළාත් දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති 071- 8598008 දුර­ක­තන අංකය ඔස්සේ ද, නැති­නම් නු‍ගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­ර­යාට 071 -8591641 දුර­ක­තන අංක‍ය ඔස්සේ ද, බස්නා­හිර පළාත් දකුණු දිසා අප­රාධ කොට්ඨා­සයේ අධ්‍ය­ක්ෂ­ව­ර­යාට 071-8592279 අංකය ඔස්සේ ද තොර­තුරු දිය හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨා­සය සඳ­හන් කළේය. මේ ද්විත්ව ඝාත­නය සම්බ­න්ධ­යෙන් මෙතෙක් කර ඇති විම­ර්ශ­න­ව­ලින් පෙනීගොස් ඇත්තේ කර­න්දෙ­ණිය සුද්දාගේ අව­ශ්‍යතා මත ටුටූ නමැත්තා විසින් මෙහෙ­යවා ඇති බව යැයි පොලී­සිය සඳ­හන් කරයි. කර­න්දෙ­ණිය සුද්දා මේ දින­වල අස­නීප තත්ත්ව­යක් මත සිටින බවට තොර­තුරු ඇති බවත්, ඔහුත් ටුටූ නමැ­ත්තාත් විදේ­ශ­ග­තව සිටින බවත් පොලී­සිය සඳ­හන් කරයි. අකු­රේ­ගො­ඩදී නීති­ඥ­ව­ර­යාට සහ ඔහුගේ බිරි­යට වෙඩිතබන අව­ස්ථා­වේදී වෙඩි­ක්ක­රු­වන් පැමිණි වාහ­නයේ රියැ­දුරු ලෙස කට­යුතු කළ පුද්ග­ලයා මේ වන විට රටින් පළා­ගොස් ඇතැයි ද අනා­ව­ර­ණ­යවී තිබේ. ඔහු තායි­ල­න්තය බලා පළා­ගොස් ඇති බව තහ­වු­රුවී ඇත. ඔහුට පලා­යෑ­මට ආධාර හා අනු­බ­ල­දීම සම්බ­න්ධ­යෙන් කාන්තා­වන් දෙදෙ­නෙක් ඇතුළු පස්දෙනකු පොලිස් විශේෂ කාර්ය බළ­කාය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ඒ අතර ඔහුගේ පවුලේ සාමා­ජි­ක­යන් ද, ගුව­න්තො­ටු­පොළ වෙත ගමන් කිරී­මට කුලී රථ­යට මුදල් ගෙවූ පුද්ග­ලයා ද සිටින බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. ඔහුගේ පවුලේ කිහි­ප­දෙ­නෙක් සැක­පිට පොලිස් භාර­යට ගෙන ඇති අතර, සැක­කරු ගුව­න්තො­ටු­පොළ වෙත රැගෙන ගිය වාහ­න­යත් ඒ සඳහා ආධාර හා අනු­බල දුන් කිහිප දෙනාත් පොලිස් භාර­යට ගෙන තිබේ. වෙඩි­ක්ක­රු­වන්ට පලා­යෑ­මට පහ­සු­කම් සැපයූ බවට හඳු­නා­ගත් රටින් පලා­ගිය සැක­කරු ඒ සඳහා යොදා ගත් මෝටර් රථය ද පොලිස් භාර­යට ගෙන තිබේ. බස්නා­හිර පළාත් දකුණු දිසා අප­රාධ කොට්ඨා­සය විසින් පසු­ගිය 16 වැනිදා සහ 17 වැනිදා කළ වැට­ලී­ම්ව­ලින් ද ප්‍රධාන සැක­ක­රු­වන් තිදෙ‍ෙ­නක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි. ඒ මේ අප­රා­ධ­යට ආධාර හා අනු­බ­ල­දීම් සම්බ­න්ධ­යෙනි. ඒ අය අතර ගිනි අවි ප්‍රවා­හ­නය කළ සැක­කාර අයියා ම‍ලෝ දෙදෙනා ද සිටිති. ඔවුන් දෙදෙනා මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­ත­වයි. අත්අ­ඩං­ගු­වට ගත් වෙඩි­ක්කරු කඩු­වෙල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර රැඳ­වුම් නියෝ­ග­යක් ගැනී­මට පොලී­සිය කට­යුතු කර තිබිණි. වෙඩි­ක්කරු ඇතුළු සැක­ක­රු­වන් 09 දෙනකු පෙරේදා වන විට මෙම වෙඩි තැබීම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.(දිනමිණ) මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න