මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වර්තමානයේ මුහුණදී ඇති ක්‍රියාවලිය ඇගේ සැමියා වූ හිටපු ජනපති පිළිබඳව වූ ක්‍රියාපටිපාටිවලට ඇදී යන බවත් විමර්ශන ක්‍රියාමාර්ගවලින් ස්වාධීන ශාස්ත්‍රඥයන්ට අනවශ්‍ය හිරිහැර බියගැන්වීම් හා කීර්තිනාමයට හානියක් නොවන්නට වගබලා ගත යුතු බව විද්වතුන් සමූහයක් ඒකමතික සහයෝගිතා ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණය කර තිබේ. කාන්තා අයිතිවාසිකම් ක්ෂේත්‍රයේ නියැළෙන ප්‍රාමාණික බුද්ධිමතුන්, ක්‍රියාධරයන්, නීතිඥවරියන්, පුවත්පත් කලාවේදීන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් විසින් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙනුවෙන් අත්සන් තබා ඇති ඒකමතික සහයෝගිතා ප්‍රකාශයට දේශමාන්‍ය රාධිකා කුමාරස්වාමි, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, ආචාර්ය සුභාංගී හේරත්, ආචාර්ය රේණුකා පතිරණ, ජී. යූ. එස්. ගුණවර්ධන, දීගු මුණසිංහ, කාන්තා ක්‍රියාකාරිනී පුෂ්පා රම්ලිනි රත්නායක, සරෝජා ශ්‍රිවචන්ද්‍රන්, ශ්‍රී සෙරීන් සේවියර්, විශාකා ධර්මදාස, විද්‍යා පෙරේරා, නිර්මලී වික්‍රමසිංහ, සාවිත්‍රි රෝඩ්රිගු, ශ්‍රියානා පෙරේරා, උදයංගනී දළුවත්ත, ජීවනී කාරියවසම්, කුමුදුනී සැමුවෙල්, සරීනා රහීම්, සුහාරා අසීස් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි ෆෙරියල් අශ්රොෆ් ඇතුළු මහත්ම මහත්මීන් 50කට අධික පිරිසක් අත්සන් තබා ඇත. එහි මෙසේ ද දැක්වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට දැනුම් දී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අපගේ දැඩි කනස්සල්ල පළ කරන්නෙමු. වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගිවීම සඳහා මහජන මුදල් භාවිතා කිරීම සම්බන්ධයෙන් ඇයගේ සැමියා වන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවතින නඩුවක් සම්බන්ධ ප්‍රකාශයක් ගැනීම සඳහා මෙම සිතාසිය යොමුකර ඇති බව වාර්තා වේ. එම විශ්වවිද්‍යාලයේදී මහාචාර්ය වික්‍රමසිංහ මහත්මියට ගෞරව මහාචාර්ය ධුරයක් පිරිනමන ලදී. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ඇයගේ පුළුල් පර්යේෂණ, පුහුණුව සහ ප්‍රතිපත්තිමය කටයුතු අගයමින් වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය මහාචාර්ය වික්‍රමසිංහ මහත්මියට “ප්‍රමුඛ ශ්‍රී ලාංකික මහාචාර්යවරියක්” ලෙස ගෞරව උපාධියක් පිරිනැමූ බව සිහිපත් කිරීම වැදගත්ය. මෙම ගෞරවය හිමි වූයේ ඇයගේ ස්වාධීන අධ්‍යයන ජයග්‍රහණ සහ දිගුකාලීන වෘත්තීය දායකත්වයන් මත ය. මහාචාර්ය වික්‍රමසිංහ මහත්මිය කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පිළිබඳ සභාපති සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරිය ලෙස සේවය කරන අතර එහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයේ ආරම්භක අධ්‍යක්ෂවරිය ද වේ. දශක තුනකට වැඩි ඉගැන්වීම් සහ පර්යේෂණ අත්දැකීම් ඇති ඇය, ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තරව ස්ත්‍රී පුරුෂ සමානාතත්මතා ප්‍රතිපත්ති සංවර්ධනය, ස්ත්‍රීපුරුෂභාවය පිළිබඳ සංවේදීකරණ පුහුණුව සහ කාන්තා සහ ස්ත්‍රීපුරුෂභාවය පිළිබඳ වැඩසටහන් ඇගයීම සඳහා ජාතික වශයෙන් සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇත. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ආයතනයේ (2007) ඇයගේ ආචාර්ය උපාධි අධ්‍යයනය, Making Meaning of Meaning -making: A Case Study of Feminist Research Methodology in Sri Lanka, ගෝලීය අධ්‍යයන ශිෂ්‍යත්වය තුළ ඇයගේ ස්ථාපනය පිළිබිඹු කරමින් ඍදමඑකැාටැ විසින් පුළුල් ලෙස උපුටා දක්වා ප්‍රකාශයට පත්කර ඇත. ඇයගේ වෘත්තීය දායකත්වයන් අතරට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ, පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ පොදුරාජ්‍ය මණ්ඩලීය මුලපිරීම සම්බන්ධ පත්වීම් ඇතුළුව ජාතික හා ජාත්‍යන්තර උපදේශක ආයතනවල සේවය ඇතුළත් වේ. ඇය ආසියානු කාන්තා විශ්වවිද්‍යාලයේ භාරකාර මණ්ඩලයේ ද සේවය කර ඇති අතර අධ්‍යයන කතුවැකි කටයුතු, පුහුණුව සහ ආයතනික සංවර්ධනය සඳහා පුළුල් ලෙස දායක වී ඇත. විශේෂයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ඇය විසින් පිහිටුවන ලද ස්ත්‍රීපුරුෂභාවය පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය පුරා සමාන මධ්‍යස්ථාන පිහිටුවීමට උත්ප්‍රේරණය කිරීමට උපකාරී වී ඇත. මෙම ජයග්‍රහණ අශෝභන හා උපහාසයට නොව ජාතික අභිමානයේ සලකුණු විය යුතුය. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ යනු පිළිගත් අඛණ්ඩතාව සහ කැපී පෙනෙන ස්වාධීන විශාරදයෙකි. මහජන වගවීම පිළිබඳ කරුණු සම්බන්ධ ඕනෑම විමර්ශන ක්‍රියාවලියක් සාධාරණ විනිවිදභාවයෙන් සහ නියමිත ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් සිදුකළ යුතුය. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය, මූලික වශයෙන් දේශපාලනයට සම්බන්ධ ඇගේ සැමිය වන හිටපු ජනාධිපතිවරයා පිළිබඳ කේන්ද්‍රගත වූ ක්‍රියාපටිපාටිවලට ඇදී යන බව පෙනෙන විට එය දැඩි කනස්සල්ලක් ඇති කරවයි. විමර්ශන ක්‍රියාමාර්ග මෙවැනි ස්වාධීන ශාස්ත්‍රඥයන්ට අනවශ්‍ය හිරිහැර, බියගැන්වීම් හෝ කීර්තිනාමයට හානියක් නොවන බවට වග බලාගන්නා ලෙස අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. අධ්‍යයන නිදහස, ආයතනික ස්වාධීනත්වය සහ දේශපාලන පලිගැනීම්වලින් විද්වතුන් ආරක්ෂා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍ය අංගයක් වේ. සාධාරණත්වය සහ සමානුපාතිකතා මූලධර්මයන් මත පදනම් වූ නිසි ක්‍රියාපටිපාටියක් අනුව සිදු කිරීම තහවුරු කරන ලෙසත්, මහාචාර්ය වික්‍රමසිංහ මහත්මියගේ වෘත්තීය ස්වාධීනත්වය, ගෞරවය සහ කීර්තිමත් සේවා වාර්තාවන් සුරකිමින් කටයුතු කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න