හිටපු ජනපති මහින්ද සමඟ සමීප සබඳතා පැවැත්වූ ඉරාන හිටපු ජනපති අහමදිනෙජාඩ් ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට!

ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ් (Mahmoud Ahmadinejad) මහතා ටෙහෙරාන් නුවරට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ILNA පුවත් සේවය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි. මියයන විට 69 වන වියේ පසු වූ ඒ මහතා, නැගෙනහිර ටෙහෙරාන්හි පිහිටි සිය නිවසේ රැඳී සිටියදී සිය ආරක්ෂක නිලධාරියෙකු ද සමඟ මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත. 2005 වසරේ සිට 2013 වසර දක්වා වසර අටක කාලයක් ඉරානයේ ජනාධිපති ධුරය හෙබවූ අහමදිනෙජාඩ් මහතා, එරට දේශපාලන ඉතිහාසය තුළ සුවිශේෂී මෙන්ම දැඩි ආන්දෝලනයකට තුඩු දුන් චරිතයක් ලෙස සැලකේ. සිය පාලන සමයේ මුල් භාගයේදී ෂියා පූජක පක්ෂයේ සහ දැඩි මතධාරීන්ගේ ප්‍රසාදය දිනාගැනීමට ඔහු සමත් වුවද, පසුව ඔහු අනුගමනය කළ මතභේදාත්මක න්‍යාෂ්ටික ප්‍රතිපත්ති, යුදෙව් විරෝධී ප්‍රකාශ සහ හොලොකෝස්ටය (Holocaust) ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඉරානය දැඩි ජාත්‍යන්තර සම්බාධකවලට සහ ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නේය. මේ හේතුවෙන් ධුර කාලය අවසන් වන විට ඔහුගේ සමීපතම හිතවාදීන් පවා ඔහුගෙන් ඈත් වූ බව සඳහන් වේ. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයත් සමඟ එරට තුළ උද්ගතව ඇති අතිශය නොසන්සුන් වාතාවරණය මධ්‍යයේ, හිටපු ජනාධිපතිවරයාගේ මෙම හදිසි මරණය ඉරාන දේශපාලනය තවදුරටත් අස්ථාවර කිරීමට හේතු වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න