රටේ පවතින ගෑස් ගබඩා කිරීමේ පහසුකම්වල පවතින දැඩි දුර්වලතාවය සහ ඒ හේතුවෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිය දැඩි අප්‍රසාදය පළ කළේය. රටේ දෛනික ගෑස් අවශ්‍යතාවය හා සසඳන විට ගබඩා ධාරිතාවය සතියකටවත් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, වත්මන් ක්‍රමය දැඩි විවේචනයට ලක් කළේය. වත්මන් ගෑස් සැපයුම් ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය. "දැනුත් කරලා තියෙන්නේ මොකක්ද? මාලදිවයිනේ නැවක් නතර කරගෙන තියෙනවා. ඒ නැවෙන් පොඩි පොඩි නැව්වලින් මෙට්‍රික් ටොන් 800 ගාණේ දවසක් ඇර දවසක් ගේනවා. රටවල්ද මේවා? මේවා තමයි හුණ්ඩු... මේවා රටවල් නෙමෙයි. මාලදිවයිනේ නැවක් නතර කරගෙන පොඩි නැවකින් 800 ගාණේ ගේනවා. ඉතින් මේවා වෙනස් කරන්න ඕනේ". ලිට්‍රෝ ගෑස් සමාගමේ දෛනික ගෑස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 1,000ත් 1,200ත් අතර පවතින නමුත්, රටේ සමස්ත ගබඩා ධාරිතාවය පවතින්නේ මෙට්‍රික් ටොන් 8,000ක මට්ටමක බව ජනාධිපතිවරයා අනාවරණය කළේය. මේ හේතුවෙන් උපරිම වශයෙන් ගෑස් ගබඩා කළ හැක්කේ දින පහකට හෝ හයකට පමණක් බවත්, මෙය රටක් ලෙස ඉතා අවදානම් සහගත තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙම හදිසි තත්ත්වයට විසඳුම් ලෙස හම්බන්තොට පිහිටි පෞද්ගලික සමාගමකට අයත් මෙට්‍රික් ටොන් 30,000ක ධාරිතාවයකින් යුත් ගබඩා පර්යන්තයෙන් මෙට්‍රික් ටොන් 15,000ක පහසුකම් තාවකාලිකව ලබා ගැනීමට රජය සාකච්ඡා කර ඇත. එම සමාගම ඒ සඳහා කැමැත්ත පළ කර ඇති බවද ජනාධිපතිවරයා පැවසීය. පෞද්ගලික ගෑස් සමාගමේ (ලාෆ්ස්) අපනයන වෙළෙඳපොළ බංග්ලාදේශ යුද ගැටුම් හේතුවෙන් බිඳ වැටීම නිසා, එම සමාගමට දේශීය වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට තිබූ නීතිමය බාධාවන් ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ,. ඒ අනුව, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා හරහා විශේෂ රෙගුලාසි මගින් එම සමාගමට දේශීය වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට තාවකාලිකව අවසර ලබා දෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. රජයේ ගෑස් මිල පෞද්ගලික අංශයට වඩා රුපියල් 500කින් පමණ අඩු බැවින් පාරිභෝගිකයන් විශාල පිරිසක් ලිට්‍රෝ ගෑස් වෙත යොමු වීමේ ප්‍රවණතාවක් පවතී. එම ඉල්ලුම සපුරාලීම සඳහා ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂයක් අලුතින් ඇණවුම් කර ඇති බවත්, ඉන් කොටසක් මේ මස මැද භාගය වන විට වෙළෙඳපොළට පැමිණෙන බවත් හෙළි විය. අනාගතයේදී තෙල් සහ ගෑස් ක්ෂේත්‍රයේ මෙවැනි අර්බුද ඇති වීමේ ඉඩකඩ අවම කිරීමට අවශ්‍ය විධිමත් සැලසුම් සකස් කරමින් පවතින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඇතිවිය හැකි ඕනෑම අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීම සඳහා රජය සූදානම් බවද දිසානායක මහතා පැවසීය. "අපි සුභදායී දේ අපේක්ෂා කරනවා, නරකම දේට සූදානම් වෙනවා" යන ප්‍රතිපත්තිය මත පිහිටා සියලු රාජ්‍ය ආයතන එක්ව ක්‍රමවත් සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. යුද ගැටුම් පවතින කලාපයේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ අදාළ තානාපති කාර්යාල හරහා පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන සේවාවන් (Hotlines) ආරම්භ කර ඇති බව ප්‍රකාශ කළේය. තත්ත්වය තවදුරටත් දරුණු වුවහොත් ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික සබඳතා හරහා ඔවුන්ට සහාය වීමේ ක්‍රමවේද පිළිබඳව ද අවධානය යොමු කර ඇති බව හෙතෙම සඳහන් කළේය.පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින සංචාරකයන් මුහුණ දෙන ගැටලු සලකා බලා, ඔවුන්ගේ වීසා බලපත්‍ර කාලය සති දෙකකින් නොමිලේ දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. යුරෝපයේ සිට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රධාන ගුවන් ගමන් මධ්‍යස්ථාන වන ඩුබායි, දෝහා සහ අබුඩාබි වැනි කලාපවලට බලපෑම් ඇතිවීම හේතුවෙන් සංචාරක පැමිණීම් කෙරෙහි යම් බලපෑමක් ඇතිවිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මැදපෙරදිග වරායන් සක්‍රිය නොවීම හේතුවෙන් ඇතැම් නැව් සමාගම් තම බහලුම් කොළඹ වරායේ ගබඩා කිරීමට අවසර ඉල්ලා ඇති බවත්, එම බහලුම් නැවත රැගෙන යන කාලසටහනක් මත පදනම්ව පමණක් එම පහසුකම් ලබාදීමට අධ්‍යයනය කරමින් පවතින බවත් ජනාධිපතිවරයා පැවසීය. කොළඹ වරාය හුදු ගබඩා මධ්‍යස්ථානයක් (Dumping site) බවට පත් නොවීමට වගබලා ගන්නා බවද හෙතෙම සඳහන් කළේය. පසුගිය වසරේ ශ්‍රී ලංකාව ලැබූ ඉහළම විදේශ ප්‍රේෂණ ආදායම වන ඩොලර් බිලියන 8.2 ක මුදලට මෙම අර්බුදය හරහා බලපෑමක් ඇතිවීමේ අවදානමක් පවතින බව ජනාධිපතිවරයා අනතුරු ඇඟවීය. එබැවින් විදේශ විනිමය අනුපාත ආරක්ෂා කර ගැනීම සහ අපනයන වෙළඳපොළට සිදුවන බලපෑම අවම කර ගැනීමට මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතන දැඩි අවධානයෙන් පසුවන බව ඔහු කියා සිටියේය. ඛනිජ තෙල් සංස්ථාව, ගෑස් සමාගම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන මේ වන විටත් සක්‍රිය යාන්ත්‍රණයක් හරහා කටයුතු කරමින් සිටින බවත්, දේශපාලන අධිකාරිය ලෙස රජය ඊට අවශ්‍ය නායකත්වය ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය