sri lanka navy rescure all 208 iran ship

අපේ ජාතික ජල තීරය තුළ අපි අනුගමනය කළ යුතු සම්මුතීන් තිබෙනවා. එක පැත්තකින් එය නාවික යාත්‍රාවක්. යුද්ධයක එක් පාර්ශ්වයකට හිමි යාත්‍රාවක්. ඒ වගේම අපි මධ්‍යස්ථ රාජ්‍යයක්. මධ්‍යස්ථ රාජ්‍යයක් එවැනි නෞකාවක් පිළිබඳව කටයුතු කරන්නේ කවරාකාරයෙන්ද? ඒ සදහා එක්සත් ජාතීන්ගේ සාගර සම්මුතිය, 1907 හේග් සම්මුතිය. මේ ආදී සම්මුතිවලින් අපට පැවරී තිබෙන බලතල සහ අපේ ක්‍රියාමාර්ග පිළිබඳව අපි දිගින් දිගටම සාකච්ඡා කරමින් තිබුණා. මෙය සාමාන්‍ය තත්ත්වයක් නොවන බව හොඳින් තේරුම් ගත යුතුයි. මධ්‍යස්ථ රාජ්‍යයක්, එක් පාර්ශ්වයක නෞකාවක්, අපේ වරායන් සඳහා ඒමට කරන ඉල්ලීමක්. එය අප සැලකිල්ලට භාජනය කළ යුතු වන්නේ ජාත්‍යන්තර ප්‍රඥප්තීන් සහ ජාත්‍යන්තර බැඳීම් අනුවයි. එ’නිසා කලබලයට කළ හැකි දෙයක් නෙවෙයි, ජාත්‍යන්තර ප්‍රඥප්තීන් සහ ජාත්‍යන්තර බැඳීම් අනුව අප දෙපාර්ශ්වය අතර අවබෝධයකට පැමිණිය යුතුයි. අප දෙපාර්ශ්වය අතර එකගතාවකට ආ යුතුයි. එ’නිසා එම නෞකාවේ කපිතාන් සහ අපේ නාවික හමුදාවේ නිලධාරීන් සාකච්ඡාවල නිරත වුණා. තානාපති කාර්යාල සමඟ සාකච්ඡාවල නිරත වුණා. විශේෂයෙන්ම ඉරාන තානාපති කාර්යාලය දැනුවත් කරමින් මේ ක්‍රියාවලියට ප්‍රවිශ්ට වුණා. එම නිසා ඒ සාකච්ඡාවලින් අනතුරුව අපේ යෝජනාව වූයේ මෙම පිරිසත්, මෙම නෞකාවත් අපේ භාරයට ගැනීමට ලෑස්ති බවයි. ඒ සඳහා සාකච්ඡා කර ගත යුතු වන්නේ අප අතර ඇති එකඟතා සහ සම්මුතීන් පිළිබඳවයි. ඒ අනුව, නෞකාවේ සිටින පිරිස මුදා ගැනීම සඳහාත්, ඒ වගේම නෞකාව ස්ථානගත කරන්නේ කොතනද යන්න පිළිබදවත් පොදු එකඟතාවකට ආවා. කොළඹ වරාය ආසන්නයේ මෙම නෞකාව තිබුණත්, කොළඹ වරාය අපේ ප්‍රධානතම වාණිජ වරායයි. එවැනි නෞකාවක් ප්‍රධාන වාණිජ වරාය තුළ රඳවා තබා ගැනීම අපේ නාවික කර්මාන්තයට බලපෑමක් ඇති වීමේ අනතුරක් තිබෙනවා. එ’නිසා අපි තීරණය කළා එම නෞකාව කොළඹ වරායට රැගෙන එන්නේ නැතිව ත්‍රිකුණාමලය වරායට රැගෙන එනවා කියලා. හැබැයි, ත්‍රිකුණාමලය වරායට රැගෙන යන්න කලින්, එහි සිටින පිරිස අපි කොළඹ වරායට ළඟා කර ගන්න කැමතියි, ඒ අනුව අපේ නාවික යාත්‍රාව එම යාත්‍රාව සමීපයට ගොස් මේ වන විට ඔවුන් මුදවා ගැනීමේ කාර්යයේ නිරතව සිටිනවා. දැනට වාර්තා වී තිබෙන ආකාරයට 208 දෙනෙක් ගොඩබිමට රැගෙන ඒමට සූදානම් කර තිබෙනවා. ඒ අතර නිලධාරීන් 53 දෙනෙක් සිටිනවා. කැඩෙට් නිලධාරීන් 84ක් සිටිනවා. ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48ක් ඉන්නවා. නාවිකයන් 23ක් සිටිනවා. මේ පිරිස අපේ නෞකාවෙන් අපේ යාත්‍රා වෙත රැගෙන කොළඹ වරායට රැගෙන ඒමට කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ඉන් අනතුරුව, එම නෞකාවට අවශ්‍ය කාර්ය මණ්ඩලයත්, අපේ නාවිකයන් සමඟ ඒකාබද්ධව එම නෞකාවත් ත්‍රිකාණාමලය වරායට රැගෙන යෑමට අපි සැලසුම් කර තිබෙනවා. එම නෞකාව ත්‍රිකුණාමලයට රැගෙන යෑමට අපි උත්සාහ කරන්නේ මෙම කණ්ඩායම ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීමෙන් පසුවයි. එනිසා අපි ඉතා පැහැදිලි ස්ථාවරයක් අනුගමනය කර තිබෙනවා. අපි කිසිදු රාජ්‍යයකට පක්ෂපාතීව හෝ කිසිදු රාජ්‍යයකට යටත් වීමට කටයුතු කරන්නේ නැහැ. අපි ස්වෛරී රාජ්‍යයක්, ස්වාධීන රාජ්‍යයක්. ඒ වගේම අපිට රජයක් හැටියට අපේ මුහුද පිළිබදව වගකීමක් තිබෙනවා. අපේ රාජ්‍යය පිළිබඳව වගකීමක් තිබෙනවා. අපේ ජනතාව පිළිබඳව වගකීමක් අපිට තිබෙනවා. එයත් අපිට ප්‍රමුඛයි. අපේ ජනතාව, අපේ මුහුදු තීරය මුළුමනින්ම අවදානමකට ලක් කර තීන්දු තීරණ ගත යුතු නැහැ. ඒ නිසා අපි තීන්දු තීරණ ගන්නේ අපේ ජනතාව සහ මාතෘ භූමිය ප්‍රමුඛතාවයේ තබාගෙනයි. එ’නිසා මොන අඬහැරයන් එළියේ තිබුණත්, මොන බලපෑම් තිබුණත් ඒ කිසිවකට අපි කලබල වන්නේ නැහැ.