ඉරානය කේන්ද්‍ර කරගනිමින් පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය සහ ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ යාම හමුවේ, යුරෝපයට සපයන ස්වාභාවික ගෑස් සැපයුම අත්හිටුවීමට රුසියාව සලකා බලමින් සිටින බව ජනාධිපති ව්ලැඩිමීර් පූටින් අනතුරු අඟවයි. ජනාධිපති පූටින් ප්‍රකාශ කළේ, යුරෝපා සංගමය විසින් 2027 වසර වන විට රුසියානු නල මාර්ග ඔස්සේ ගෑස් මිලදී ගැනීම තහනම් කිරීමට සහ 2026 අප්‍රේල් මස සිට කෙටි කාලීන රුසියානු ද්‍රව ස්වාභාවික ගෑස් (LNG) කොන්ත්‍රාත්තු සීමා කිරීමට ගෙන ඇති තීරණ හේතුවෙන් මෙම පියවර ගැන අවධානය යොමුව ඇති බවයි. අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාර සහ ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකා ගමනාගමනයට බාධා පැමිණ තිබේ. මේ හේතුවෙන් කටාර් රාජ්‍යයේ LNG නිෂ්පාදනය සහ සවුදි අරාබියේ ප්‍රධාන තෙල් පිරිපහදු මධ්‍යස්ථාන අක්‍රිය වීම නිසා ලෝක වෙළඳපොළේ තෙල් හා ගෑස් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. පූටින්ට අනුව, යුරෝපයේ ගෑස් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව මැදපෙරදිග පවතින නොසන්සුන්තාව හමුවේ වැඩි මිලක් ගෙවා හෝ සැපයුම් ලබා ගැනීමට ගැනුම්කරුවන් සූදානම් වීමයි. ඉරානයට එරෙහිව එල්ල වන ආක්‍රමණශීලී ක්‍රියා මෙන්ම රුසියානු තෙල් සඳහා බටහිර රටවල් පනවා ඇති සීමාවන් ද තෙල් මිල ඉහළ යාමට බලපා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. යුරෝපයට ගෑස් විකිණීම දිගටම කරගෙන යනවාට වඩා, අලුතින් විවෘත වන වෙනත් වෙළඳපොළවල් වෙත සිය සැපයුම් යොමු කිරීම රුසියාවට වඩාත් ලාභදායී විය හැකි බව ක්‍රෙම්ලිනය නිකුත් කළ වාර්තාවක දැක්වේ. මේ වන විටත් රුසියාව සිය තෙල් සහ ගෑස් සැපයුම් චීනය දෙසට වැඩි වශයෙන් යොමු කරමින් සිටී. කෙසේ වෙතත්, යුරෝපයට සැපයුම් නතර කිරීම පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, ඒ පිළිබඳව බලශක්ති සමාගම් සමඟ එක්ව අධ්‍යයනය කරන ලෙස රුසියානු රජයට උපදෙස් දී ඇති බව ද සඳහන් වේ. රුසියාව තවදුරටත් විශ්වාසවන්ත බලශක්ති සැපයුම්කරුවෙකු ලෙස කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා, ස්ලෝවැකියාව සහ හංගේරියාව වැනි තමන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන නැගෙනහිර යුරෝපීය රටවල් සඳහා දිගටම සැපයුම් ලබා දෙන බව ද අවධාරණය කළේය