‘රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවට හෝ දේශපාලන ස්වාධීනත්වයට එරෙහිව බලය යෙදවීම තහනම්’ - ඉරාන යුද්ධය ගැන නිල නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා රජය අවධාරණය කරයි

කලාපයේ වේගයෙන් නරක අතට හැරෙන තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ල පළකරමින්, මැදපෙරදිග සහ බටහිර ආසියාවේ ආතතීන් උත්සන්න වීම වහාම සමනය කරන ලෙස ශ්‍රී ලංකාව වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ඊයේ  (15) නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ, උග්‍රවන ගැටුම සිවිල් වැසියන්ට සෘජු තර්ජනයක් වන අතර, එය දැනටමත් ඛේදජනක ලෙස ජීවිත හානිවලට හේතු වී ඇති බවයි. ශ්‍රී ලංකාව සිවිල් වැසියන්ට සහ සිවිල් යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාර හෙළාදකින අතර, සියලු පාර්ශ්වයන්ගේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීම අන්තර්ජාතික මානුෂීය නීතිය යටතේ මූලික වගකීමක් බව අවධාරණය කරයි. බරපතල මානුෂීය අර්බුදය සහ ගෝලීය ආර්ථිකයට සහ අන්තර්ජාතික වෙළඳාමට ඇති වියහැකි බලපෑම සැලකිල්ලට ගනිමින්, ලොව පුරා රටවලට බලපෑ හැකි වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරන බව රජය පවසයි. ඕනෑම රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවට හෝ දේශපාලන ස්වාධීනත්වයට එරෙහිව බලය යෙදවීම තහනම් කරන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්මවලට ගරුකිරීමේ අවශ්‍යතාවය ද ශ්‍රී ලංකාව නැවත අවධාරණය කරයි. සියලුම ජාතීන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සඳහා ඇති කැපවීම අවධාරණය කරමින්, තවදුරටත් අර්බුදය උත්සන්න වීම වැළැක්වීම සඳහා උපරිම සංයමයක් ක්‍රියාත්මක කර සාකච්ඡාවලට නැවත පැමිණෙන ලෙස සම්බන්ධ වූ සියලුම පාර්ශ්වයන්ගෙන් ශ්‍රී ලංකාව ඉල්ලා සිටියි. අර්ථවත් සංවාදයක නිරතවන ලෙසත්, කලාපයේ සහ ඉන් ඔබ්බට සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට සහ ආතතීන් අවම කිරීමට තීරණාත්මක පියවර ගන්නා ලෙසත් රජය සියලු පාර්ශ්වයන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටියි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න