මිසයිල නාශක අවසන්... ඊශ‍්‍රායලව න්‍යෂ්ටික ප‍්‍රහාරයකට සූදානම්!

ඉරානය සමඟ පවතින යුද්ධයේදී න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ හැකියාව පිළිබඳව ඊශ්‍රායල හමුදාවේ අවධානය යොමුව ඇති බවට එරට මාධ්‍ය මගින් වාර්තාවක් ඉදිරිපත් කර ඇත. ඊශ්‍රායලයේ Haaretz පුවත්පත උපුටා දක්වමින් මෙම වාර්තා පෙන්වා දෙන්නේ, එරට රජය සිය ආරක්ෂක උපාය මාර්ග යාවත්කාලීන කර ඇති බවත්, Strategic deterrence යටතේ අතිශය දරුණු මිලිටරි විකල්ප පිළිබඳව රහසිගත සාකච්ඡා ආරම්භ වී ඇති බවත්ය. ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක අවි තොග අඩු වීම මෙම තීරණයට බලපා ඇති බව විශ්ලේෂකයෝ පවසති. න්‍යෂ්ටික විකල්පය පිළිබඳව සාකච්ඡා වීම, පවතින යුද්ධය ගෝලීය ව්‍යසනයක් දක්වා වර්ධනය වීමේ බරපතලම සලකුණ ලෙස විද්වතුන් අර්ථකථනය කරන අතර කලාපීය ආතතිය ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ ඇති බව අවධාරණය කෙරේ. පසුගිය පෙබරවාරි 28 වැනිදා ඊශ්‍රායලය සහ ඇමරිකානු එක්සත් ජනපදය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව මෙම ගැටුම උත්සන්න විය. එම ප්‍රහාරවලින් ඉරාන නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් ජීවිතක්ෂයට පත් වූහ. ඉරාන නිලධාරීන්ට අනුව එම ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 1,348 ඉක්මවන අතර 17,000කට අධික පිරිසක් තුවාල ලබා ඇත. මීට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් ඊශ්‍රායලයට මෙන්ම කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේන් යන රටවල පිහිටි ඇමරිකානු කඳවුරුවලට ද ප්‍රහාර එල්ල කරන ලදී. පවතින තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ F-35I යානා ඉරානය දෙසට යොමු කර ඇති බවත්, ලෙබනනයට පොස්පරස් බෝම්බ හෙළා ඇති බවත් වාර්තා වේ. තවද, මෙම ප්‍රහාර හේතුවෙන් උතුරු ඉරාකයේ තෙල් නිෂ්පාදනය ද නතර වී ඇත. මෙම තත්ත්වය හමුවේ ඉරාන වැසියන්ට සිදුවන බලපෑම දශක ගණනාවක් පවතිනු ඇති බවට අනතුරු ඇඟවීම් නිකුත් වී ඇත. කෙසේ වෙතත්, ඇමරිකානු බලශක්ති ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ තවත් සති කිහිපයකින් මෙම යුද්ධය අවසන් වනු ඇති බවයි