පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන්ද යන්න පිළිබඳව වසර හතක් තිස්සේ පවතින විවාදය අවසන් කරමින්, මාර්තු මස 31 වැනිදා ඒ පිළිබඳ සියලු තොරතුරු සාක්ෂි සහිතව රටට හෙළි කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි. පසුගිය වසර එකහමාරක කාලය පුරා තමන් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම තොරතුරු අනාවරණය කරගත් බවත්, ඒ සම්බන්ධයෙන් ලියැවුණු ග්‍රන්ථය එදිනට එළිදක්වන බවත් ඔහු සඳහන් කළේය. ආරක්ෂක අංශවල සහ පොලීසියේ ඇතැම් ප්‍රබල නිලධාරීන් මෙම ප්‍රහාරය පිටුපස සිටි බවට තම පර්යේෂණයේදී තොරතුරු අනාවරණය වූ බැවින්, මෙම කරුණු පොලීසියට ලබා දීමෙන් පලක් නොවන බවත්, එබැවින් සමස්ත ජනතාවටම මෙම තොරතුරු හෙළි කරන බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය,. පාස්කු ප්‍රහාරයෙන් පසු 2019 වසරේ අගෝස්තු මාසයේ පැවති මහනුවර දළදා පෙරහැරට ද දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සහරාන්ගේ කණ්ඩායම සැලසුම් කර තිබූ බවත්, එම තොරතුරු ද මෙම ග්‍රන්ථය මගින් හෙළි කරන බවත් ඔහු පවසයි,. රන්දෝලි පෙරහැරේදී පියවර දෙකකින් එල්ල කිරීමට සැලසුම් කර තිබූ මෙම ප්‍රහාරය සාර්ථක වූයේ නම්, එය ඇමරිකාවේ 9/11 ප්‍රහාරය ද අබිබවා යන ලෝක ඉතිහාසයේ විශාලතම ත්‍රස්ත ප්‍රහාරය වීමට ඉඩ තිබූ බව හිටපු ඇමතිවරයා පෙන්වා දෙයි. සහරාන්ගේ මරණයෙන් පසු නායකත්වයට පත් වූ මෝහමඩ් රිල්වාන් විසින් මෙම ප්‍රහාරය මෙහෙයවීමට නියමිතව තිබූ බවත්, සහරාන් ඒ සඳහා අවශ්‍ය උපදෙස් සහ ඇඳුම් පැළඳුම් පවා ලබා දී තිබූ බවත් මූලාශ්‍රවල සඳහන් වේ. සාරා ජෙස්මින් ඉන්දියාවට පලා ගිය බවට ජාතික ජන බලවේගය (මාලිමාව) විසින් නිරන්තරයෙන් නගන චෝදනාවලට සාක්ෂි සහිතව පිළිතුරු දීමට තමන් සූදානම් බව ගම්මන්පිල මහතා පැවසීය. ඇයට සැබවින්ම සිදු වූයේ කුමක්ද, ඇය සම්බන්ධයෙන් තුන්වන ඩීඑන්ඒ පරීක්ෂණයක් කළේ ඇයිද යන්න පිළිබඳව මෙම ග්‍රන්ථයෙන් විස්තර කෙරේ. එසේම ඉන්දියාව, ඇමරිකාව හෝ ඉශ්‍රායලය මෙම ප්‍රහාරය පිටුපස සිටියේද යන්න සහ ජමීල් මොහොමඩ්, අබුහින්, සෝනික් සොනික් ඇතුළු කුමන්ත්‍රණ න්‍යායන් වල කියැවෙන සියලු චරිත පිළිබඳව ද විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරන බව ඔහු කියා සිටියේය. සහරාන් යටතේ පුහුණුව ලැබූ මිනිස් බෝම්බ 300කට ආසන්න පිරිසක් අදටත් සමාජයේ නිදැල්ලේ සැරිසරන බවට ද හිටපු ඇමතිවරයා මෙහිදී බරපතළ අනාවරණයක් කළේය. එවකට සිටි ඉතා ප්‍රබල පූජකවරයෙකුගේ මැදිහත්වීමෙන් අන්තවාදීන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ නතර කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවත්, මෙවැනි ප්‍රහාරයක් අනාගතයේදී වැළැක්වීමට ගත යුතු පියවර ද තම ග්‍රන්ථයේ අවසාන පරිච්ඡේදයෙන් ඉදිරිපත් කරන බවත් උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය