ට‍්‍රම්ප්ට තනියෙන් යුද්ද කරන්නැයි කියා යුරෝපා සංගමය ඉරානය සමග සාකච්චාවට යයි

ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක, හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමන නිදහස තහවුරු කිරීම සඳහා සහාය වන්නැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීම යුරෝපා සංගමයේ නායකයින් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. පෙබරවාරි 28 වනදා සිට ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ප්‍රහාර හමුවේ, ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධියේ කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වී ඇත. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරුන් ඉකුත් සඳුදා බ්‍රසල්ස් නුවරට රැස් වූහ. මෙහිදී අදහස් දැක්වූ ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෙපුල් අවධාරණය කළේ මෙම ගැටුමේදී මිලිටරි මෙහෙයුම් සඳහා එක්වීමට ජර්මනියේ කිසිදු අදහසක් නොමැති බවයි. "ඇමරිකාව සහ ඊශ්‍රායලය සිදු කරන දේ පිළිබඳව අපව දැනුවත් කරනු ඇතැයි අප බලාපොරොත්තු වනවා. කලාපීය ආරක්ෂක ව්‍යුහයක් පිළිබඳව සාකච්ඡා කළ යුත්තේ ඉන් අනතුරුවයි," ඔහු පැවසීය. ග්‍රීසිය සහ ඉතාලිය ද මෙවැනි මිලිටරි මෙහෙයුමකට සම්බන්ධ නොවන බව ප්‍රකාශ කර ඇත. "හෝමුස් සමුද්‍ර සන්ධියේ කිසිදු හමුදා ක්‍රියාමාර්ගයකට ග්‍රීසිය මැදිහත් වන්නේ නැහැ," යැයි රජයේ ප්‍රකාශක පව්ලොස් මරිනාකිස් පැවසූ අතර, ඉතාලි විදේශ අමාත්‍ය ඇන්ටෝනියෝ ටජානි ද එම අදහසම තහවුරු කළේය. හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සඳහා නාවික සන්ධානයක් පිහිටුවීමට ජනාධිපති ට්‍රම්ප් කළ යෝජනාවට යුරෝපයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත්, නේටෝ සංවිධානයේ අනාගතය "ඉතා අඳුරු" වනු ඇති බවට ට්‍රම්ප් ඉකුත් ඉරිදා 'ෆයිනෑන්ෂල් ටයිම්ස්' පුවත්පතට පවසමින් අනතුරු ඇඟවීය. කෙසේ වෙතත්, ජර්මානු ආරක්ෂක අමාත්‍ය බොරිස් පිස්ටෝරියස් ප්‍රකාශ කළේ බලවත් ඇමරිකානු නාවික හමුදාවට කළ නොහැකි දෙයක් යුරෝපීය යුද නැව් කිහිපයකට කළ නොහැකි බවයි. "මෙය අපේ යුද්ධයක් නෙවෙයි. මෙය අප ආරම්භ කළ දෙයක් ද නෙවෙයි," යනුවෙන් ඔහු දැඩිව ප්‍රකාශ කළේය. යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කාජා කලාස් පෙන්වා දුන්නේ සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති බවයි. මෙම ඉහළ මිල ගණන් හරහා රුසියාව සිය බලශක්ති ආදායම වැඩිකර ගනිමින් යුක්රේන යුද්ධය සඳහා මුදල් යොදවන බව ඇය සඳහන් කළාය. ඩෙන්මාර්කය වැනි රටවල් පවසන්නේ යුද්ධයට සහාය නොදැක්වුවද, නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විවෘත මනසකින් යුතුව සාකච්ඡා කළ යුතු බවයි. ප්‍රංශය යෝජනා කර ඇත්තේ රතු මුහුදේ ආරක්ෂාව සඳහා දැනට ක්‍රියාත්මක 'ඇස්පිඩීස්' මෙහෙයුම හෝමුස් දක්වා ව්‍යාප්ත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බවයි. යුරෝපා සංගමයේ රටවත් කිහිපයක්ම දැනටමත් ඉරානය හා සාකච්චා ආරාම්භ කර ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර අතර ප‍්‍රංශය හා ඉතාලිය ඒ බව පිලිගෙන ඇත.