පෙට‍්‍රල් 98 කින්, ඩීසල් 168 කින් ඉහල යා යුතුයි... ජනපති සූත‍්‍රය හෙලි කරයි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම හමුවේ දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිල තීරණය වන ආකාරය සහ එහි බලපෑම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය. මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඩොලර් එකකින් වැඩි වන විට, මෙරට තෙල් මිල රුපියල් දෙකකින් පමණ වැඩි වන බවයි. ඒ අනුව, මෑතකදී පෙට්රල් බැරලයක මිල ඩොලර් 90 සිට 139 දක්වා ඩොලර් 49 කින් ඉහළ ගොස් ඇති බවත්, ඩීසල් බැරලය ඩොලර් 114 සිට 198 දක්වා ඩොලර් 84කින් ඉහල ගොස් ඇති බවත් පැවසූ ඔහු මෙම අගයන් දෙකෙන් වැඩි කල විට ඉන්ධන මිල ගණනය කල හැකි බවත් පැවසුවේය. මෙම තත්වය දේශීය වෙළෙඳපොළ කෙරෙහි සෘජු බලපෑමක් ඇති කර ඇති බවත් විශේෂයෙන්ම ඩීසල් මිල ඉහළ යාම කෙරෙහි ද මෙම තත්ත්වය දැඩිව බලපා ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. (ජනාධිපතිවරයා පවසන සූත‍්‍රය අනුව පෙට‍්‍රල් ලීටරය රුපියල් 98කින් හා ඩීසල් ලීටරය 168කින් ඉහල යා යුතුව ඇත.) තෙල් මිල ඉහළ යාමට අමතරව, ඉන්ධන ගෙන්වීමේදී ගෙවිය යුතු 'ප්‍රීමියම්'  ගාස්තුව ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය. මීට පෙර ඩොලර් 2.5ක් ලෙස පැවති දිගුකාලීන ටෙන්ඩර් ප්‍රීමියම් ගාස්තුව, මේ වන විට ඩොලර් 12 දක්වාත්, ඇතැම් අවස්ථාවල ඩොලර් 31, 35 සහ 45 වැනි ඉහළ අගයන් දක්වාත් වැඩි වී තිබේ. විවිධ රටවල් සහ සමාගම් අතර පවතින තරගකාරීත්වය මෙන්ම ආරක්ෂණ සහතික පිළිබඳ පවතින අවශ්‍යතාවය මෙයට ප්‍රධාන හේතුව වී ඇත. ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාව තුළ ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ සාපේක්ෂව කළමනාකරණය කළ මට්ටමක බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ලෝකයේ විවිධ රටවල් සියයට 6 සිට සියයට 150 දක්වා වූ ඉහළ පරාසයකින් තෙල් මිල ඉහළ දමා ඇති අතර, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මිල වැඩිවීම සියයට 108ක් ලෙස සටහන් වන බව හෙතෙම ප්‍රකාශ කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි තෙල් නිෂ්පාදනය කරන රටවල් හැරුණු විට, අනෙකුත් බොහෝ රටවල් ශ්‍රී ලංකාවට වඩා වැඩි ප්‍රතිශතයකින් මිල ඉහළ දැමීම් සිදු කර ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය,.