ජනතාවාදී රටක් සහ රජයක් ගොඩනැගීම වෙනුවෙන් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී එක්ව කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව කියා සිටියේ දිවංගත ප්‍රවීණ දේශපාලනඥ ගාමිණී දිසානායක මහතාගේ 84 වන ජන්ම දින සැමරුම් උත්සවයට එක්වෙමිනි. ඊයේ (21) ට යෙදී ඇති ගාමිණී දිසානායක මහතාගේ 84 වන ජන්ම දින සැමරුම කොළඹ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්, දේශපාලන නියෝජිතයන් සහ පවුලේ හිතවතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, රටේ පොදුජන කඳවුර ශක්තිමත් කිරීමේ කාලය එළඹ ඇති බවයි. “පොදුජන න්‍යාය මත පදනම් වුණු දැවැන්ත එකතුවකට සමගි ජන බලවේගයත් එක්ක එක්සත් ජාතික පක්ෂයත් මුල පුරනවා. අවසානයේ ජයග්‍රහණය කළ යුත්තේ මේ රටේ පොදු ජනතාවමයි,” යනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය. මෙම නව දේශපාලන සන්ධානගත වීම හරහා ඉදිරියේදී වඩාත් ශක්තිමත් ජනතාවාදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න