Collector
Giriş Yap
පාස්කු ප‍්‍රහාරය ගැන FBI පරීක්‍ෂණ අවසන්.. යලි පරීක්‍ෂණ කරන්න අපට බෑ - ඇමරිකාව ලංකාවට එවූ ලිපිය මෙන්න | Collector
පාස්කු ප‍්‍රහාරය ගැන FBI පරීක්‍ෂණ අවසන්.. යලි පරීක්‍ෂණ කරන්න අපට බෑ - ඇමරිකාව ලංකාවට එවූ ලිපිය මෙන්න

පාස්කු ප‍්‍රහාරය ගැන FBI පරීක්‍ෂණ අවසන්.. යලි පරීක්‍ෂණ කරන්න අපට බෑ - ඇමරිකාව ලංකාවට එවූ ලිපිය මෙන්න

2019 අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු දා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නව හෝ අතිරේක ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම ඇමරිකානු රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අතිරේක පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම ඇමරිකානු රජය විසින් ප්‍රතික්ෂේප කරන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්තවාදයට එරෙහි කාර්යාංශයේ වැඩබලන ප්‍රධාන නියෝජ්‍ය සම්බන්ධීකාරක ක්‍රිස්ටෝපර් ඒ. ලෑන්ඩ්බර්ග් (Christopher A. Landberg) විසින් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ වෙත නිල විද්‍යුත් ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත. ඇමරිකානු රජය පෙන්වා දෙන්නේ ප්‍රහාරය එල්ල වූ මොහොතේ සිට ඒ සම්බන්ධ පරීක්ෂණ සහ නීතිමය කටයුතු සඳහා ඇමරිකාව උපරිම සහයෝගය ලබා දී ඇති බැවින්, තවත් අතිරේක පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය ලිපිය මගින්, ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට ලබාදුන් පරීක්ෂණ සහයෝගීතාව පිළිබඳ දීර්ඝ විස්තරයක් කර තිබේ. ප්‍රහාරය සිදුවී සතියක් ඇතුළත ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) නිලධාරීන් 33 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොළඹට පැමිණ ඇත. ඔවුන් ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සමඟ එක්ව සාක්ෂි එකතු කිරීම, වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීම මෙන්ම ඩිජිටල් උපාංග විශ්ලේෂණය කිරීමේ කටයුතුවල නිරත වී තිබේ. ප්‍රහාරයෙන් පසු මාස කිහිපය තුළ ඇමරිකානු තානාපතිවරයා සහ FBI නීති අනුබද්ධ නිලධාරියා විසින් එවකට සිටි ජනාධිපති, අගමැති සහ ආරක්ෂක අමාත්‍යවරයා නිරන්තරයෙන් පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව දැනුවත් කර ඇත. මෙම ඒකාබද්ධ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස, ප්‍රහාරයෙන් ඇමරිකානු පුරවැසියන් පස්දෙනෙකු ඇතුළු 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් වගකිවයුතු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව 2021 ජනවාරි මාසයේදී ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් අපරාධ චෝදනා ගොනු කරනු ලැබීය. ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවලට අමතරව, ත්‍රස්තවාදයට එරෙහි නඩු පවරන ශ්‍රී ලංකාවේ රජයේ නීතිඥවරුන් සඳහා ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්තවාදයට එරෙහි කාර්යාංශය විසින් අඛණ්ඩව පුහුණුව සහ උපදේශනය ලබා දී ඇත. එසේම, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සහ නීති බලාත්මක කිරීමේ කාර්යාංශය (INL) හරහාද වසර කිහිපයක් තිස්සේ අධිකරණ සහ අභිචෝදනා සහය ලබා දී තිබේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ත්‍රස්තවාදයට එරෙහි පුළුල් සහයෝගීතාවක් සඳහා වූ යෝජනාවලියක් 2022 පෙබරවාරි 08 වනදා ශ්‍රී ලංකා පාර්ශවය වෙත භාරදී ඇති බවයි. එසේම, ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා විසින් කරනු ලබන ඕනෑම අතිරේක සහය ඉල්ලීමක් සලකා බැලීමට සූදානම් බවත්, එම ලිපියේ දක්වා ඇත. පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීම සහ ත්‍රස්තවාදයට එරෙහි සහයෝගීතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමරිකාව තවදුරටත් කැපවන බව අවධාරණය කර තිබේ.

Go to News Site