Gossip Lanka News
වත්මන් ජනාධිපතිවරයා වටා රොක් වී සිටින ජාවාරම්කාර ව්‍යාපාරික ජාලයක් විසින් රටේ ආර්ථිකය හසුරවමින් සිටින බවට හිටපු අමාත්‍ය සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා බරපතල චෝදනාවක් එල්ල කරයි. මෙම තත්ත්වය 'කුවේර තන්ත්‍රය' ලෙස ඔහු හඳුන්වන අතර, මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සම්පූර්ණයෙන්ම අමතක කර ඉතා පටු පිරිසක් පමණක් ජනාධිපති කාර්යාලය හරහා රටේ ආර්ථික තීන්දු තීරණ මෙහෙයවන බව ඒ මහතා පෙන්වා දෙයි. යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් රණවක මහතා සඳහන් කළේ, විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන කටයුතු වලදී තෝරාගත් පිරිසකට වාසි වන අයුරින් ටෙන්ඩර් කොන්දේසි පවා වෙනස් කරමින් දැවැන්ත වංචාවක් සිදුවෙමින් පවතින බවයි. ගල් අඟුරු සැපයීම සම්බන්ධයෙන් රජය අනුගමනය කරන වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කළ හිටපු අමාත්‍යවරයා, විධිමත් ප්‍රසම්පාදන සැලසුම් ප්‍රතික්ෂේප කරමින් රජය විසින් රටේ බලශක්ති සුරක්ෂිතතාව අනතුරේ හෙළා ඇති බව ප්‍රකාශ කළේය. "පාන් ගන්නවා වගේ ගල් අඟුරු ගන්න බැහැ" යනුවෙන් ආණ්ඩුවේ පාර්ශව පවසන කතා අසත්‍ය බවත්, 2015 වසරේදී තමන් විසින් හඳුන්වා දුන් හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේද (Spot Tender) පවා වර්තමානයේදී විකෘති කර ඇති බවත් ඔහු පැවසීය. බාල ගල් අඟුරු භාවිතය නිසා බලාගාරවලින් ජනනය වන විදුලිය අඩුවීම පියවා ගැනීමට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ හයකට (676,000) අධික ප්‍රමාණයක් අමතරව වැය කිරීමට සිදුව ඇති බවත්, ඒ හරහා සිදුවන මූල්‍ය පාඩුව ජනතාව මත පටවා ඇති බවත් ඔහු ගණන් හිලව් සහිතව පෙන්වා දුන්නේය. 2022 වසරේ ඇති වූ මහජන නැගිටීම කළමනාකරණය කර ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ වෙනසක් ඇති කිරීමට ගත් උත්සාහය ප්‍රමාණවත් නොවූ බව රණවක මහතා පිළිගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට ආවද, වත්මන් පාලනය තුළ කාඩර්වරුන් පත් කිරීම මිස රටට අවශ්‍ය වෘත්තීයවේදීන්ට හෝ අත්දැකීම් සහිත පිරිස්වලට ඉඩක් නොමැති බව ඔහු චෝදනා කරයි. දූෂණයට සම්බන්ධ නොවූ, අත්දැකීම් සහිත පිරිස් සහ තරුණ පරම්පරාව ඒකාබද්ධ කරගනිමින් නව දේශපාලන වේදිකාවක් ගොඩනැගීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කළේය.
Go to News Site