Gossip Lanka News
ඉන්දීය සිනමා සංගීතයේ අසහාය ගායන ශිල්පිනියක වූ ආශා බෝස්ලේ අද (12) පෙරවරුවේ අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 92 වැනි වියේ පසු වූවාය. මුම්බායිහි බ්‍රීච් කැන්ඩි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බහු අවයව අකර්මණ්‍ය වීම (Multi-organ failure) හේතුවෙන් ඇය මෙලෙස මෙලොව හැර ගිය බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය. ඊයේ ( 11 ) දැඩි විඩාව සහ පෙනහළු ආසාදනයක් හේතුවෙන් ඇය රෝහල්ගත කර තිබුණි. ඇගේ මිනිබිරියක වන සනායි බෝස්ලේ විසින් ඉන්ස්ටග්‍රෑම් සටහනක් තබමින් ඇය රෝහල්ගත කළ බව මුලින්ම අනාවරණය කළාය. හෘදයාබාධයක් සහ පෙනහළුවල ඇති වූ සංකූලතා හේතුවෙන් අද පෙරවරුවේ ඇගේ තත්ත්වය අසාධ්‍ය වූ බවත්, විශේෂඥ වෛද්‍ය ප්‍රතිත් සම්දානි ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ඇය බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත වූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය සිනමාවේ අමරණීය ගායිකා ලතා මංගේෂ්කාර්ගේ සොහොයුරිය වන ආශා බෝස්ලේ, භාෂා රැසකින් ගීත 12,000කට අධික සංඛ්‍යාවක් ගායනා කරමින් ලෝක වාර්තා තබා ඇති පුරාවෘත්තයක් බඳු කලාකාරිනියකි. ඇයගේ අභාවයත් සමඟ ඉන්දීය සිනමා සංගීතයේ ස්වර්ණමය යුගයක නිමාව සනිටුහන් වන බව විචාරකයෝ පවසති. ඇය දැක්වූ විශිෂ්ට කලා මෙහෙවර වෙනුවෙන් ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානයක් වන ‘පද්ම විභූෂණ’ සම්මානයෙන් සහ සිනමාවේ ඉහළම සම්මානය වන ‘ඩඩා සහේබ් පාල්කේ’ සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. ඇයගේ අභාවය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ලොව පුරා කලාකරුවන් සහ දේශපාලනඥයන් සිය ශෝකය පළ කරමින් සිටිති.
Go to News Site