Gossip Lanka News
මුදල් අමාත්‍යාංශයේ මුදල් ව්‍යාජ ඊමේල් පණිවිඩයක් හරහා වෙනත් ගිණුමකට බැරවීමේ සිද්ධිය ඇතුළු මහා පරිමාණ වංචා රැසක් යට ගැසීමට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි. කොළඹදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. පසුගිය දෙසැම්බර් මාසයේදී සිදුවූ බව කියන මෙම ඩොලර් මිලියන 2.5ක මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳව මෙතෙක් කිසිදු නීතිමය පියවරක් නොගෙන සඟවා තැබීම පිළිබඳව ඔහු ප්‍රශ්න කළේය. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මීට සෘජුව වගකිව යුතු බවත්, නිලධාරීන් සිව්දෙනෙකු ඉවත් කර ජනාධිපතිවරයාට අත සෝදාගත නොහැකි බවත් නාමල් රාජපක්ෂ මෙහිදී අවධාරණය කළේය. බාල ගල් අඟුරු ආනයනය සහ කන්ටේනර් 323ක සිද්ධිය මෙන්ම ලෝක වෙළඳපොළේ වැඩිම මිලට තෙල් මිලදී ගැනීම හරහා රටට සිදුව ඇති පාඩුව ජනතාව පිට පටවා ඇතැයි ඔහු කීවේය. “හොරු ඇල්ලීමට” යැයි පවසමින් බලයට පැමිණි පිරිස් මහ බැංකු වංචාව මෙන්ම දැන් මුදල් අමාත්‍යාංශයේ මුදල්ද අවභාවිත කරන තැනට කටයුතු කර ඇති බවට නාමල් රාජපක්ෂ චෝදනා කළේය. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පත්කරන කොමිසන් සභා සත්‍ය වශයෙන්ම පරීක්ෂණ කිරීමට නොව, සිද්ධීන් කල් දමා යට ගැසීමට ගන්නා උත්සාහයක් බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේය. ආණ්ඩුවට හිතවත් නිලධාරීන් පත්කර ගැනීම හරහා සමස්ත රාජ්‍ය යන්ත්‍රණයම කඩා වැටී ඇති බවත්, මෙම වංචා පිටුපස සිටින පිරිස් පිළිබඳව ඉදිරියේදී රට දැනුවත් කරන බවත් ඔහු අවසන් වශයෙන් පැවසීය.
Go to News Site