Collector
භාණ්ඩාගාරයට හැකර් ප‍්‍රහාරයක් නොවේ.. මූල්‍ය රෙගුලාසි පියවර 13ම සම්පූර්ණ කරලා.. ලේකම් අනුමැතිය දීලා.. | Collector
භාණ්ඩාගාරයට හැකර් ප‍්‍රහාරයක් නොවේ.. මූල්‍ය රෙගුලාසි පියවර 13ම සම්පූර්ණ කරලා.. ලේකම් අනුමැතිය දීලා..
Gossip Lanka News

භාණ්ඩාගාරයට හැකර් ප‍්‍රහාරයක් නොවේ.. මූල්‍ය රෙගුලාසි පියවර 13ම සම්පූර්ණ කරලා.. ලේකම් අනුමැතිය දීලා..

භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යාංශය හරහා සිදුව ඇති ඩොලර් මිලියන 2.5කට අධික මූල්‍ය අක්‍රමිකතාවය හුදු පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වීමක් (Computer Hacking) නොව, රජයේ මූල්‍ය රෙගුලාසිවලට අනුව සම්පූර්ණ කළ යුතු පියවර 13ම අනුගමනය කරමින් සිදුකළ ගනුදෙනුවක් බව හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ, මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පහළ මට්ටමේ නිලධාරීන් සිව්දෙනෙකු බිල්ලට දී ඉහළ නිලධාරීන් මෙයින් ගැලවීමට උත්සාහ කරන බවයි. සාමාන්‍යයෙන් මෙවැනි විදේශීය ණය වාරික ගෙවීමකදී (Term Loan) අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට පහළ නිලධාරීන් දක්වා පියවර 13ක් පසුකළ යුතු බව තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. "මේක තනි පුද්ගලයෙක් සිස්ටම් එකකට ඇතුළු වෙලා කරන හැකින් එකක් නෙවෙයි. අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව, අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් හරහා ලිපිකරු මට්ටම දක්වා නිලධාරීන් පියවර 13ක් සම්පූර්ණ කරලයි මේ මුදල් ගෙවා තිබෙන්නේ" යයි ඔහු සඳහන් කළේය. මුදල් අමාත්‍යාංශයේ වත්මන් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට ලංකාවේ රාජ්‍ය සේවය සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව නිසි අත්දැකීමක් නොමැති වීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුවක් බව තෙන්නකෝන් මහතා චෝදනා කරයි. ඕස්ට්‍රේලියාවේ පුද්ගලික අංශයේ සේවය කර මෙරට ලේකම් ධුරයට පත්වූ ඒ මහතාගේ පළමු අත්සන නොමැතිව කිසිදු ණය වාරිකයක් ගෙවිය නොහැකි බවත්, මෙම මතභේදාත්මක ගෙවීමද ඔහු මීට පෙර සේවය කළ ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික ආයතනයකට සම්බන්ධ ණය මුදලක් බවත් මෙහිදී අනාවරණය විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට වැඩ තහනමට ලක්ව ඇත්තේ සහකාර අධ්‍යක්ෂවරියක් සහ ගණකාධිකාරීවරියක් ඇතුළු පහළ මට්ටමේ නිලධාරීන් සිව්දෙනෙකු පමණි. "මූල්‍ය රෙගුලාසි 135 යටතේ වගකීම පැවරෙන්නේ ඉහළ නිලධාරීන්ටයි. ලේකම්වරයාගේ අනුමැතිය නැතුව මේ මුදල් ගෙවන්න කිසිදු ක්‍රමයක් නැහැ. නමුත් අද වෙන්නේ මේ මහා අපරාධයට පහළ නිලධාරීන් බිල්ලට දී ඉහළ අය නිදහස් වීමයි" යැයි ඔහු වැඩිදුරටත් පැවසීය. රටක භාණ්ඩාගාරය මෙලෙස මංකොල්ලකෑම බරපතල තත්ත්වයක් බවත්, වහාම ක්‍රියාත්මක වී රාජ්‍ය සේවය පිළිබඳ මනා අවබෝධයක් ඇති නිලධාරියෙකු මුදල් ලේකම් ධුරයට පත්කළ යුතු බවත් තෙන්නකෝන් මහතා රජයෙන් ඉල්ලා සිටියි. එසේ නොවුණහොත් භාණ්ඩාගාරය බිඳවැටීම වළක්වා ගත නොහැකි වනු ඇති බවටද ඔහු අනතුරු ඇඟවීය -lankacnews

Go to News Site