Collector
චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා අත්අඩංගුවට! | Collector
චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා අත්අඩංගුවට!
Gossip Lanka News

චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා අත්අඩංගුවට!

රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් "කුෂ්" සහ "හෑෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මෙහෙයවූ ප්‍රධාන සැකකරු ඊයේ (26) ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. තායිලන්තයේ සංචාරයක නිරතව පෙරේදා රාත්‍රියේ මෙරටට පැමිණි මෙම පිරිස සතුව තිබූ ගමන්මලු පරීක්ෂා කිරීමේදී, අධ්‍යාපන උපකරණ සහ ආහාර ඇසුරුම් අතර ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබූ කිලෝග්‍රෑම් 112ක මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයාගනු ලැබීය. මෙය කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ චීවරධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් වූ පළමු මෙන්ම විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස වාර්තා වේ. මෙම ජාවාරම පිටුපස ජඹුරලිය ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරීන් තිදෙනෙකු සිටින බව හෙළි වී ඇති අතර, ඔවුන් ෆේස්බුක් මාධ්‍යය ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණ චීවරධාරීන් 19 දෙනෙකු මෙම සංචාරය සඳහා සම්බන්ධ කරගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතරින් 21 දෙනෙකුම වයස අවුරුදු 30ට අඩු උසස් අධ්‍යාපනය හදාරන තරුණ හිමිවරුන් වන අතර අනෙක් පුද්ගලයා පිරිවෙන් ගුරුවරයෙකි. මොවුන් තායිලන්තයේදී ගිහි ස්වරූපයෙන් හැසිරී ඇති බවට සාක්ෂි ඔවුන්ගේ ජංගම දුරකථනවල තිබූ ඡායාරූප මගින් අනාවරණය වී ඇති අතර, නොමිලේ ලැබුණු විදෙස් සංචාරයකට හිලව් වශයෙන් පාසල් උපකරණ අඩංගු ගමන්මලු මෙරටට රැගෙන ඒමට තමන් එකඟ වූ බව සැකකරුවන් පාපොච්චාරණය කර ඇත. ශාසනය කෙළෙසමින් සිදුකළ මෙම ම්ලේච්ඡ ක්‍රියාව සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සිය දැඩි පිළිකුල පළ කරමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ යන මහා නිකායන්හි මහානායක හිමිවරුන් අවධාරණය කරන්නේ මෙම විනය විරෝධී ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ වහාම විමර්ශනය කර ඔවුන් සසුනෙන් නෙරපා හැරීමට පියවර ගන්නා බවයි. භික්ෂු ප්‍රතිරූපය මුවාවෙන් සිදුකරන මෙවැනි විනාශකාරී ක්‍රියා මැඬපැවැත්වීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සම්පාදනය කිරීම සහ මෙවැනි සංවිධානාත්මක ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම රජයේ සහ ආරක්ෂක අංශවල වගකීමක් බවද උන්වහන්සේලා පෙන්වා දෙති. මෙම ජාවාරම්කරුවන් පසුගිය මාසයේදී ද මෙලෙසම චීවරධාරීන් 12 දෙනෙකු තායිලන්තයට රැගෙන ගොස් ඇති අතර, ලබන මාසයේදී ද තවත් පිරිසක් රැගෙන යාමට සැලසුම් කර තිබූ බව විමර්ශනවලදී හෙළි විය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද පස්වරුවේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. විශේෂයෙන්ම තරුණ භික්ෂූන් වහන්සේලා උපක්‍රමශීලීව මෙවැනි විනාශකාරී කටයුතුවලට පොළඹවා ගන්නා කණ්ඩායම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, ශිෂ්‍ය භික්ෂූන්ගේ විනය පිළිබඳව ආචාර්යවරුන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත් මහානායක හිමිවරු වැඩිදුරටත් අවධාරණය කරති. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site