Gossip Lanka News
මහා භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව පවත්වාගෙන ගිය ‘ඕස්ට්‍රේලියානු ණය ගිණුම්’ වල සිදුව ඇති මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවය වසන් කිරීමට රජය උත්සාහ දරන බව ‘ෆී ලෝයර්ස්’ සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන් චෝදනා කරයි. ඊයේ (26) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ, වංචාව අනාවරණය වීමත් සමඟ භාණ්ඩාගාරය තුළ ලිපි ලේඛන වෙනස් කරමින් සාක්ෂි විකෘති කිරීමේ බරපතළ ක්‍රියාවලියක් සිදුවන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති එකඟතාව අනුව ණය ගෙවීමක් ප්‍රමාද කළ හැක්කේ දින 90 ක් පමණක් වුවද, දැනට දින 100 කට වඩා ගතවී ඇති බැවින් ශ්‍රී ලංකාව මේ වන විටත් තාක්ෂණිකව ණය පැහැර හැර ඇති රාජ්‍යයක් (Technical Default) බවට පත්ව ඇතැයි ඔහු පෙන්වා දෙයි. 2022 අප්‍රේල් මස සිදුවූ බංකොලොත් භාවයෙන් පසු, 2026 අප්‍රේල් මස වන විට රට නැවතත් එම අගාධයටම වැටී ඇති බවත්, මුදල් අමාත්‍යවරයා හෝ මහ බැංකුව මේ බව පාර්ලිමේන්තුවට හෙළි නොකිරීම බරපතළ වරදක් බවත් ඔහු සඳහන් කළේය. මෙම මූල්‍ය මංකොල්ලය අනාවරණය වූ පසු භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අභ්‍යන්තර විමර්ශන කමිටු පත්කිරීමේ ලිපිවල දින වකවානු වෙනස් කරමින් සාක්ෂි විකෘති කිරීමට කටයුතු කර ඇති බවට තෙන්නකෝන් මහතා ලේඛන සහිතව චෝදනා කළේය. මුල් විමර්ශන වාර්තා පදනම් කරගෙන නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කළද, සැබෑ වැරදිකරුවන්ට ගැලවී යාමට මාවත විවෘත කර ඇති බව ඔහු පැවසීය. පරිගණක මූල්‍ය අපරාධ ගැන නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරන මහ බැංකුව, තමන්ගේම සෘජු වගකීම යටතේ තිබූ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් නිහඬව සිටීම සැක සහිත බව ඔහු පෙන්වා දුන්නේය. “භාණ්ඩාගාරය පසුගිය මාස 12 තිස්සේ පාලනය වන්නේ දේශපාලන කල්ට් එකකින්. දැන් නියෝජ්‍ය ඇමතිවරු හීනෙන් නැගිටලා බයිලා කියනවා, සාමාන්‍ය ලිපිකරුවෝ මත වගකීම පටවන්න හදනවා,” යැයි ඔහු විවේචනය කළේය. පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දේශපාලන හේතු මත මාරු කර යවා, පළපුරුද්දක් නැති සූරියප්පෙරුම වැනි ලේකම්වරයෙකු යටතේ භාණ්ඩාගාරය අද වන විට අඩපණ වී ඇති බවත්, ඔහු වහාම එම ධුරයෙන් ඉවත් කළ යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි. මීට අමතරව ප්‍රංශ ණය සම්බන්ධ ලේඛන ද අතුරුදන් වී ඇති බව පවසන තෙන්නකෝන් මහතා, භාණ්ඩාගාරය සහ මහ බැංකුව වර්තමානයේ ‘ගොපල්ලෙකු නැති බැටළු රළක්’ බවට පත්ව ඇතැයි කියා සිටියේය. මෙම මූල්‍ය මංකොල්ලය සහ ලේඛන විකෘති කිරීම පිළිබඳව වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වා සත්‍යය රටට හෙළි කරන ලෙස ‘ෆී ලෝයර්ස්’ සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි. newshub මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site