Gossip Lanka News
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අයත් කොළඹ ටොරින්ටන් ප්‍රදේශයේ පිහිටි නිවසක් මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් වහාම පැහැදිලි කිරීමක් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී තිබේ. සිරීලිය ගිණුමට අදාළව සිදුකරන විමර්ශනයකට සමගාමීව මෙම පියවර ගෙන ඇති අතර, අදාළ දේපල නීති විරෝධී ලෙස උපයාගත් මුදල්වලින් මිලදී ගත් බවට සැක කෙරේ. මෙම පැහැදිලි කිරීම සිදු කරන තෙක් අදාළ නිවසේ හිමිකාරීත්වය වෙනත් පාර්ශවයකට පැවරීම ද මේ වන විට අත්හිටුවා ඇති බව කොමිසම සඳහන් කරයි. නිවස මිලදී ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වුවහොත්, විධිමත් විමර්ශනයකින් අනතුරුව එම දේපල අධිකරණමය ක්‍රියාවලියක් හරහා ක්‍රියාවිරහිත කිරීමට පියවර ගනු ඇතැයිද වාර්තා වේ. මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් විමර්ශනයට අදාළව ඔහු ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය ද දෝෂ සහිත බව අල්ලස් කොමිසම පෙන්වා දෙයි. 2015 වර්ෂයේ සිට ආරම්භ කර ඇති මෙම වත්කම් විමර්ශනයට අදාළව නිසි දිවුරුම් ප්‍රකාශ ලබා දීමට ඔහු මීට පෙර පියවර ගෙන නොතිබුණි.. ඒ අනුව, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 49 වන වගන්තිය ප්‍රකාරව, සම්පූර්ණ කරන ලද දිවුරුම් ප්‍රකාශයක් දින 14ක් ඇතුළත ලබා දෙන ලෙස පසුගිය මාර්තු 23 වැනිදා හිටපු ජනාධිපතිවරයාට දන්වා තිබේ. නියමිත කාලය තුළ නිවැරදි තොරතුරු ලබා නොදුනහොත්, එය තොරතුරු වසන් කිරීමක් ලෙස සලකා ඔහුට එරෙහිව ඉදිරි පියවර ගන්නා බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා ඇත. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site