Collector
යෝෂිතගේ නාවික හමුදා වැටුප බැංකුවට ගියත් කවදාවත් සල්ලි අරන් නෑ! | Collector
යෝෂිතගේ නාවික හමුදා වැටුප බැංකුවට ගියත් කවදාවත් සල්ලි අරන් නෑ!
Gossip Lanka News

යෝෂිතගේ නාවික හමුදා වැටුප බැංකුවට ගියත් කවදාවත් සල්ලි අරන් නෑ!

යෝෂිතගේ විරෝධතාව උසාවිය ප්‍රතික්ෂේප කරයි මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුව පවරා පවත්වාගෙන යා නොහැකි බවට විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාව කොළඹ මහාධිකරණය ඊයේ (14දා) නිෂ්ප්‍රභ කළේය. විත්ති පාර්ශ්වය විසින් මතු කරන ලද මූලික විරෝධතාව පදනම් විරහිත බවත්, විත්තිකරුට එරෙහිව එල්ල වී ඇති කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව ඉදිරියට පවත්වාගෙන යෑමට නීතිමය බාධාවක් නොමැති බව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා නියෝගය ප්‍රකාශ කරමින් දන්වා සිටියේය. මෙම නඩුවේ 2 වැනි විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් නඩු විභාගයකට මුහුණ දීමට හා උත්තරවාද බැඳීමට සුදුසු මානසික තත්ත්වයක නොසිටින බවට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් තීරණය කිරීමෙන් පසු ඇය මුදාහැරීමට අධිකරණය නියෝග කළේය. ඉන්පසු පළමු චුදිත වන යෝෂිත රාජපක්ෂට එරෙහි ඉදිරිපත් කළ පළමු අධිචෝදනාව වන ‘කුමන්ත්‍රණ’ චෝදනාවේ අන්තර්ගතය සංශෝධනය කරන බව පැමිණිල්ල දැනුම් දුන්නේය. ඒ අනුව අධිචෝදනා පත්‍රයේ පළමු චෝදනාව ‘දැනට මොළය අක්‍රිය තත්ත්වයේ සිටින ඩේසි ෆොරස්ට් යන අය සමඟ පළමු චුදිත වන යෝෂිත රාජපක්ෂ වන යුෂ්මතා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට’ යනාදි ලෙස සංශෝධනය කෙරිණි. දෙවැනි විත්තිකාරිය නඩුවෙන් මුදාහැරීමෙන් පසු යෝෂිත රාජපක්ෂට එරෙහිව පමණක් නඩුව පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් විත්තිය විරෝධයක් ඉදිරිපත් කළේය. විත්තියේ තර්කය වූයේ කුමන්ත්‍රණ චෝදනාවකදී එක් විත්තිකරුවකු නිදහස් වූ පසු ඉතිරි විත්තිකරුට එරෙහිව පමණක් ‘කුමන්ත්‍රණ’ චෝදනා ඉදිරිපත් කළ නොහැකි බවයි. එම විරෝධ සම්බන්ධයෙන් පැමිණිල්ල පූර්වාදර්ශ නඩු තීන්දු ඉදිරිපත් කරමින් ප්‍රතිතර්ක ඉදිරිපත් කළේය. යම් නඩු විභාගයකදී එක් විත්තිකරුවකු මිය ගියහොත් හෝ නඩු විභාගයට මුහුණ දීමට නොහැකි අසනීප තත්ත්වයකට පත්වුව හොත් ඔහු සමඟ කුමන්ත්‍රණය කළ අනෙක් පුද්ගලයාට එරෙහිව නඩුව ඉදිරියට ගෙන යා හැකි බව පැමිණිල්ලේ තර්කය විය. මේ සඳහා පැමිණිල්ල විසින් ඉන්දීය නඩු තීන්දුවක් උපුටා දක්වන ලදි. එම නඩු තීන්දුවේ හරය වන්නේ, යම් පුද්ගලයකු තවත් හඳුනාගත් හෝ නොහඳුනන පිරිසක් සමඟ කුමන්ත්‍රණය කර ඇති බවට සාක්ෂි පවතින්නේ නම්, අනෙක් කුමන්ත්‍රණකරුවන් නඩු විභාගයට පෙනී නොසිටියද නැත්නම් ඔවුන් නඩුවෙන් නිදහස් වුවද, අදාළ විත්තිකරුට එරෙහිව කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යා හැකි බවයි. දෙපාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු ගැඹුරින් විවරණය කළ මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශය කරමින් විත්තිකරුට එරෙහිව නඩුව පවත්වා ගෙන යා හැකි බවට නියෝග කළේය. ඩේසි ෆොරස්ට් නමැත්තිය නඩුවෙන් මුදාහැරීම සිදු වූයේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 වැනි වගන්තිය යටතේය. එම වගන්තිය යටතේ විත්තිකරුවකු මුදාහැරීම නිදහස් කිරීමක් මිස ‘නිදොස් කිරීමක්‘ නොවන බව මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා සිය නියෝගය දන්වමින් වැඩිදුරටත් කියා සිටියේය. එය ඩේසි ෆොරස්ට් නමැති විත්තිකාරියට එරෙහිව පවරා ඇති නඩු කටයුත්ත නතර කිරීමක් පමණක් වන බැවින් පළමු විත්තිකරුට එරෙහිව චෝදනා පවත්වාගෙන යෑමට ඉන් බාධාවක් නොමැති බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය. 2012 වසරේ අගෝස්තු මස 01දා සහ 2013 වසරේ අගෝස්තු 29දා අතර කාලයේ රාජගිරියේදී සහ බම්බලපිටියේදී රුපියල් ලක්ෂ 735කට ආසන්න මුදලක් උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි වීමේ චෝදනාව යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව මෙම නඩුව පවරා ඇත. නීති විරෝධි ක්‍රියාකාරකමකින් හෝ ක්‍රියාකාරකම් කිහිපයකින් ලද මුදල් ඍජුවම හෝ වක්‍ර ලෙස උපයාගත් මුදල් බව දැන දැනම නැතහොත් එසේ දැනගැනීමට හේතු ඇතිව බැංකු ගිණුම් සහ ස්ථාවර තැන්පතුවල තැන්පත් කිරීම යටතේ චෝදනා නඟා තිබේ. එමඟින් මුදල් විශුද්ධිකරණ වරද සිදු කිරීම හා එකී වරද සිදු කිරීමට අනුබලදීම සහ ක්‍රියා කිරීමට එකඟ වීමෙන් කුමන්ත්‍රණය කළ බවද එකී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් එම වරද සිදු කිරීම ඇතුළු අධිචෝදනා 3ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සිදුකර ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ 113අ සමඟ කියවිය යුතු 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේ නඩු පැවරීම සිදුකර තිබේ. මහාධිකරණයේ තීරණයෙන් අනතුරුව විවෘත අධිකරණයේදී විත්තිකරුට චෝදනා පත්‍ර කියවා දෙන ලදි. විත්ති කූඩුවේ සිටි යෝෂිත රාජපක්ෂ මහතා තමන් එම චෝදනාවලට නිවැරදිකරු බව ප්‍රකාශ කළේය. ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා නඩුවේ ආරම්භක ප්‍රකාශය ඉදිරිපත් කරමින් සාක්ෂි විමසීම ආරම්භ කිරීමට පියවර ගත්තේය. විත්තිකරුට එරෙහිව චෝදනා පත්‍රයේ දේපළ මිලදී ගැනීම් 5ක් ගැන සඳහන් වේ. ඒවා නම් 2012 වසරේ ඔක්තෝබර් 9දා නීතිඥ මයුරි මනෝරි ප්‍රනාන්දු විසින් ලියන ලද රත්මලානේ, කෙකටිය පෙ‍ෙදසේ පිහිටි මිලියන 35.49ක වටිනාකමකින් යුක්ත පර්චස් 31.05ක ඉඩම, නොතාරිස් සුධම්මික වීරමන් විසින් 2013 වසරේ ජූනි 06දා ලියන ලද ගල්කිස්ස, බටහිර කවුඩානේ පිහිටි මිලියන 7.5ක වටිනාකමක් ඇති පර්චස් 12.04ක ඉඩම, ඔහු විසින්ම එදින ලියන ලද මිලියන 22.5ක වටිනාකමක් ඇති පර්චස් 10ක ඉඩම, ගල්කිස්සේ ගාලු පාරේ අත්තිඩියේ පිහිටි මිලියන 3.5ක් වටිනා පර්චස් 2.6ක ඉඩම සහ 2013 වසරේ ජූලි 18දා ලියන ලද පර්චස් 5 මිලියන 4.5ක මෙම ඉඩම් මිලදී ගැනීම සම්බන්ධයෙනි. මෙම ඉඩම් අතරින් කෙකටිය ‍ෙපදෙසේ ඉඩම සහ සිරිමල් පෙදෙසේ ඉඩම වෙනම පිහිටි ඉඩම් දෙකක් වන අතර අනෙක් ඉඩම් කොටස් හතර ශිරන්ති රාජපක්ෂ මහත්මියට අයත් පර්චස් 18ක ඉඩමක් කේන්ද්‍ර කරගෙන මිලදී ගත් අවට ඉඩම් බව පැමිණිල්ල කියා සිටියේය. මෙම ඉඩම් පහේම ගැනුම්කාරිය ලෙස දක්වා ඇත්තේ ඩේසි ෆොරස්ට් යන අයය. මෙම ඉඩම් කොටස් පහේ එකතුව මිලියන 73.49ක මුදලක් විශුද්ධිකරණ චෝදනා යටතේ නඩු පවරා තිබේ. යෝෂිත රාජපක්ෂ රජයේ සේවයට බැඳුණු දිනය වන 2012 වසරේ අගෝස්තු 29දා ඉහත ඔප්පු පහෙන් අවසාන ඔප්පුව 2013 වසරේ අගෝස්තු 29දා ලියා තිබෙන බැවින් එදින අධිචෝදනා පත්‍රයේ කාලය ලෙස දක්වා තිබේ. පැමිණිල්ල චුදිතට එරෙහිව නඩු භාණ්ඩ 78ක්, විත්තිකරුට එරෙහිව සාක්ෂිකරුවන් 166ක් හා පිළිගැනීම් 110ක් විත්තිය ඉදිරිපත් කරන ලදි. පැමිණිල්ල ඉදිරිපත් කළ පිළිගැනීම යම් ප්‍රමාණයක් විත්තිය පිළිගන්නේ නම් එම සාක්ෂිකරුවන් ඉදිරිපත් නොකරන බව පැමිණිල්ල දැනුම් දුන්නේය. හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා, දේශීය ආදායම් කොමසාරිස්වරයා, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, රජයේ ප්‍රධාන තක්සේරුකරු, දෙහිවල ගල්කිස්ස නාගරික කොමසාරිස්වරයා, කාල්ටන් ස්පෝර්ට්ස් සමාගමේ හිටපු පරිපාලන සහ මූල්‍ය අධ්‍යක්ෂවරයා, යසාරා අබේනායක නමැත්තියගේ මාමා කෙනෙකු වන වසන්ත ජයසූරිය ඇතුළු තැනැත්තන් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වේ. මෙයට අමතරව චුදිතයන් දෙදෙනා එක්ව පවත්වා ගෙන ගිය බැංකු ගිණුම් 4ක ගිණුම් සාරාංශ හා විත්තිකාර යෝෂිත රාජපක්ෂ කොටස් වෙළෙඳපොළේ සමාගම් කිහිපයක ආයෝජනය කර ඇති විස්තර හා ඔහු 2009 වසරේ සිට 2015 කාලය දක්වා නාවික හමුදාවට ඉදිරිපත් කළ වත්කම් හා බැරකම් ප්‍රකාශය සහ බැංකු ගිණුම් 7කට අදාළ විස්තර ඇතුළු ලේඛන 25ක් නඩු භාණ්ඩ අතර වේ. නඩු පැවරීම සිදුකර ඇති 2009 හා 2025 කාලයෙන් විත්තිකරු 2009 ඔක්තෝබර් 29 සිට 2010 අගෝස්තු 31 දක්වා යුක්රේනයේ නැෂනල් යුනිවර්සිටි ඔෆ් ඩිෆෙන්ස් ඇකඩමිහි පාඨමාලාවකට යොමුව ඇති අතර පසුව එය 2014 මාර්තු 20 දක්වා දීර්ඝ කර තිබේ. ඔහු 2006 දෙසැම්බර් 14 දින නාවික හමුදාවට බැඳීම කර ඇත. යෝෂිත කණිෂ්ක රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළ කාලය තුළදී මාසිකව රුපියල් 73000ක වැටුපක් ඔහුගේ ගිණුමට ලැබී ඇති බවත් ඔහු එම මුදල ආපසු ගෙන නොමැති බව හා ඩේසි ෆොරස්ට් ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාර පාලිකාවක ලෙස සේවය කර තිබෙන බව සහ ඇයට ඒ සඳහා වේතන ලෙස රුපියල් 300ක මුදලක් ලැබී ඇති බව නීතිපතිවරයා ආරම්භක දේශනය කරමින් අධිකරණයට දන්වා සිටියේය. චෝදනා කියවා දීමෙන් පසු පැමිණිල්ලේ පළමු සාක්ෂිකාරිය ලෙස ඩේසි ෆොරස්ට් යන අයගේ බූදලයේ කළමනාකාරිය ලෙස නම් කළ මධූකා වීරසිංහ ගුණසේකර යන අය සාක්ෂි දෙන ලදි. තමන් හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් ඇගේ සැමියා නීතිඥයකු බව හා ඔවුන්ගේ පවුල හා රාජපක්ෂ පවුල සමීප හිතවතුන් බවත් එම පවුල් සමඟ තමන්ට දුර නෑකමක්ද ඇති බව සාක්ෂිකාරිය කියා සිටින ලදි. ඇය 2000 වසරේ සිට ඩේසි මහත්මිය හඳුනන බව කියා සිටියේය. 2015 වසරේදි ගංගොඩවිල දිසා අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත්කර ඩේසි ෆොරස්ට්ගේ ඉඩම් භාරකාරිය ලෙස නම් කළ බව කියා සිටියේය. නීතිය අනුව ඉඩම් භාරකාරිය මාස 3ක් ඇතුළත භාරකාරීත්වය දරන දේපළවල ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කළයුතු වුවත් තමන් එසේ බාර නොදුන් බව කියා සිටියාය. ඇයට කොහේ කොතැනක දේපළ තිබේදැයි තමන් නොදන්නා බවත් අවස්ථා කිහිපයකදී ඇය හා අනෙකුත් අය සමඟ රත්මලානේ සහ දෙහිවල ඉඩම්වලට ගිය බව කියා සිටියාය. එම කාලය තුළ ඩේසි ෆොරස්ට් යන අය ජීවත් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ ජීවත් වූ නිවසේ බවත්, ඇය රැකබලා ගැනීමට වෙනම පිරිසක් සිටි බවත් කියා සිටියාය. 2016 වසරේදී ඩේසි මහත්මියගේ බූදලයේ භාරකාරිත්වය භාරගැනීමට ගියේ පවුලේ හිතවත්කම් මත බවත්, තමන් පිළිබඳ තිබූ විශ්වාසය හේතුවෙන් එම වගකීම පවරා දුන් බවත් සාක්ෂිකාරිය වැඩිදුරටත් පැවසුවාය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය. නඩුව ලබන 22දා යළි කැඳවේ. මීළඟ නඩු දින පැමිණිල්ලේ 1, 3, 4, 40, 41 යන සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කෙරිණි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site