Gossip Lanka News
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ට අයත් බව කියන මල්වානේ දේපළට කිසියම් කණ්ඩායමක් ඇතුළු වී එය අත්පත් කරගැනීම සම්බන්ධයෙන් තමන් වරදක් නොදකින බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ ස්ථානයට ගොස් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍ය කණ්ඩායම නොවන බව තමන් විශ්වාස කරන නමුත්, කවර පාර්ශ්වයක් හෝ එහි ගොස් එම දේපළ පිළිබඳව නැවත ජනතා අවධානය යොමු කරවීම වැදගත් බවයි. එසේම අයිතිකරුවෙකු නොමැති දේපළක් තිබිය නොහැකි බැවින් එහි අයිතිය මහජනතාව සතු විය යුතු බවත්, තාක්ෂණික කරුණු මත මීට පෙර නිදොස් වූ එම නඩු කටයුතු නැවත ඉදිරියට ගෙන යන බවත් අමාත්‍යවරයා පැවසීය. කෙසේ වෙතත් වගකිවයුතු රජයක අමාත්‍යවරයෙකු ලෙස නීතිමය ක්‍රියාපටිපාටියෙන් බැහැරව මෙලෙස සිවිල් කණ්ඩායම් දේපළ අත්පත් කරගැනීමත් ඊට සමාන අදහස් දක්වමින් මෙකී අනීතික ක්‍රියාව ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂවරයෙකු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු ද සිය සමාජ මාධ්‍ය ගිනුම් හරහා සාධාරණීකරණය කිරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළද දැඩි විවේචන එල්ල වෙමින් පවතී. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේ, ඊයේ දින මල්වානේ මෙම විරෝධතාවය සිදු කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට හිතවාදී ශිෂ්‍ය කණ්ඩායමක් බවයි. ආණ්ඩුව කරන්නේ තමන් බව ජවිපෙට අමතක වී ඇති බව ද ඔහු සඳහන් කළේය. මල්වානේ පිහිටි මෙම නිවස බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට සඳහන් වුවද, නඩු විභාගවලදී විත්තිකරුවන් එය තමන්ට අයිති නැති බව ප්‍රකාශ කිරීම නිසා අධිකරණය විසින් මෙය හිමිකරුවෙකු නොමැති දේපළක් ලෙස මීට පෙර නම් කර තිබුණි. 2022 මැයි 9 වනදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ මෙම නිවසට පිරිසක් කඩා වැදී ගිනි තබා හානි සිදු කර තිබිණ . මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site