Gossip Lanka News
පසුගිය 2014 වසරේදී ඉස්ලාම් දහමට සහ ශුද්ධ වූ කුරානයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකළ බවට චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව, මූලික නඩු විභාග සමුළුවක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, එහි ඉදිරි කටයුතු ජුනි මස 26 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළේය. 2014 අප්‍රේල් මස 12 වනදා හෝ ඊට ආසන්න දිනයකදී කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය අසලදී ඉස්ලාම් දහමට සහ ශුද්ධ වූ කුරානයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම අධිචෝදනා ගොනු කර ඇත. නඩු විභාගය අතරතුරදී විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, මීට වසර 12කට පමණ පෙර තම සේවාදායකයා විසින් සිදු කරන ලදැයි කියන ප්‍රකාශ මෙරට ඇතැම් අන්තවාදී කණ්ඩායම් ඉලක්ක කර ගනිමින්, රටේ යහපත උදෙසා සිදු කරන ලද ප්‍රකාශ බවයි. එසේම මෙම නඩු විභාගය අනවශ්‍ය ලෙස ප්‍රකාශ කිරීමට හෝ අධිකරණ කාලය අපතේ හැරීමට විත්ති පාර්ශවයට කිසිදු අදහසක් නොමැති බවද නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේ, අදාළ ආන්දෝලනාත්මක ප්‍රකාශ ඇතුළත් සංයුක්ත තැටි මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පැමිණිලි පාර්ශවය පියවර ගෙන නොමැති බවයි. දෙපාර්ශවයේම කරුණු දැක්වීම් සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, නඩුවේ ඉදිරි මූලික කටයුතු සඳහා එය ජුනි මස 26 වනදා නැවත කැඳවීමට නියෝග කළේය. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක වීරසූරිය සමඟ සංජය මාරඹේ, ආකර්ෂා වීරසූරිය සහ පසන් කරුණාරත්න යන නීතිඥ මණ්ඩලය පෙනී සිටියහ. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site