Gossip Lanka News
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවාගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බැවින්, ඔහුගේ අවසන් කැමති පත්‍රය සකස් කිරීම ඇතුළු නීතිමය කටයුතු සඳහා පහසුකම් සලසා දෙන ලෙස ඔහුගේ නීතිඥවරයා ඉල්ලා සිටියි. මේ සම්බන්ධයෙන් සුරේෂ් සලෙයි මහතාගේ නීතිඥ අසිත් සිරිවර්ධන මහතා විසින් අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී. එස්. අබේසේකර මහතා වෙත අද (07) දින හදිසි ලිපියක් යොමු කර තිබේ. නීතිඥවරයා පවසන්නේ අද දින සලෙයි මහතාගේ බිරිඳ, පුත්‍රයා සහ සහෝදරයා ඔහුව බැලීමට ගිය අවස්ථාවේදී ඔහුගේ ශාරීරික තත්ත්වය අතිශය අසාධ්‍ය මට්ටමක පවතින බව නිරීක්ෂණය වී ඇති බවයි. නිලධාරීන් දෙදෙනෙකුගේ ශාරීරික ආධාරයකින් තොරව ඔහුට පැමිණීමට පවා නොහැකි වී තිබේ. තමන් ආහාර, ජලය, සේලයින් සහ ඖෂධ ලබාගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, තම මරණය ආසන්න බව විශ්වාස කරන බවත් සලෙයි මහතා එහිදී තම පවුලේ අයට ප්‍රකාශ කර ඇත. එමෙන්ම තමන් මියගිය පසු ඇස් දන් දීමට කටයුතු කරන ලෙසත්, අවසන් කැමති පත්‍රය සහ අනෙකුත් නීතිමය ලියකියවිලි සකස් කිරීම සඳහා වහාම නීතිඥවරයා කැඳවා දෙන ලෙසත් ඔහු ඉල්ලා තිබේ. රඳවා තබාගෙන සිටින පුද්ගලයෙකුගේ ජීවිතය සහ සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ පූර්ණ වගකීම රජය සතු වන බව පෙන්වා දෙන නීතිඥ අසිත් සිරිවර්ධන මහතා, පවතින තත්ත්වය හමුවේ සලෙයි මහතාට යහපත් තීරණ ගැනීමේ මානසිකත්වයක් නොමැති බවත් ඔහුගේ ජීවිතයට දැඩි සහ ක්ෂණික අවදානමක් මතුව ඇති බවත් සඳහන් කරයි. මෙම අනතුරු ඇඟවීම් මධ්‍යයේ සලෙයි මහතාට කිසියම් අනතුරක් හෝ මරණයක් සිදු වුවහොත්, ඒ පිළිබඳව තීරණ ගත් නිලධාරීන් පුද්ගලිකව වගකීමට බැඳෙන බවද ලිපිය මඟින් දන්වා ඇත. • සලෙයි මහතා වහාම අවශ්‍ය පහසුකම් සහිත රජයේ හෝ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කිරීම. • මනෝ වෛද්‍යවරුන් ඇතුළු ස්වාධීන විශේෂඥ වෛද්‍යවරුන් ලවා වහාම ඔහුව පරීක්ෂාවට ලක් කිරීම. • ඔහුගේ නීතිඥවරුන්ට සහ පවුලේ අයට ඔහු හමුවීමට සාධාරණ අවස්ථාවක් ලබා දීම. • ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර පිළිබඳ ලිඛිත වාර්තාවක් ප්‍රමාදයකින් තොරව ලබා දීම. මෙම ඉල්ලීම් ඉටු කිරීමට අපොහොසත් වුවහොත් ඉදිරියේදී දේශීය මෙන්ම ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාමාර්ග සඳහා මෙම ලිපිය නිල දැනුම්දීමක් ලෙස භාවිත කරන බවද නීතිඥවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
Go to News Site