Gossip Lanka News
දේශීය සමාගම් එකසියපහක් ඒකාබද්ධ වී භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඩොලර් මිලියන ගණනින් රටින් පිට කිරීමේ මහා පරිමාණ ජාවාරමක් අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) අනාවරණය කළේය. බැංකු 12 කට අධික ගිණුම් 227ක් ඔස්සේ අවස්ථා විසිහය දහසකට අධිකව මෙම මහා පරිමාණ ජාවාරම සිදුකර ඇති බව ද අමාත්‍යවරයා හෙළි කර සිටියේය. එමෙන්ම මෙමඟින් අමෙරිකානු ඩොලර් මිලියන 85.8කට අධික මුදලක් මෙලෙස රටින් පිටමං කර ඇති අතර, එන්.ඩී.බී බැංකුවට අදාළ රුපියල් බිලියන 13 ක මූල්‍ය වංචාවට අදාළ මුදල් ද රටින් පිටකර ඇති බවට විමර්ශනවලින් තොරතුරු අනාවරණය වී ඇතැයිද හෙතෙම පැවසීය. මෙම සමාගම් විසින් භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් සමාගම් ආරම්භ කරමින් විදෙස් රටවලට මුදල් යැව්ව ද ආනයනය කරන බව සඳහන් කර ඇති කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය කර නැතැයි ද කීවේය. එකම චෞර වළල්ලක් විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති අතර මාස හයෙන් හයට සමාගම් වෙනස් කරමින් මෙම වංචාව දිගු කාලයක් තිස්සේ සිදුකර ඇති අතර මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන බව ද පැවසුවේය. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (09) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය. “පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා පොලීසියේ මධ්‍යම අපරාධ කාර්යාංශය විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසය හා ශ්‍රී ලංකා රේගුව විසින් වරින්වර සිදුකරන ලද පර්යේෂණ ඔස්සේ රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අනාවරණය කරගෙන තිබෙනවා. අනාවරණය කර ගත් කරුණු සම්බන්ධයෙන් යම් අනාවරණයක් මේ පාර්ලිමේන්තුවට සිදුකළ යුතුයි. මෙම ජාවාරම පිළිබඳ විමර්ශන තුනක් ඉදිරිපත් කරනවා. පසුගිය වසරේ ඔක්තොම්බර් 22දා කැලණිය අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් පෑලියගොඩදී සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරික්ෂා කරනවා. ඒ ත්‍රිරෝද රථයේදී කෝටි තුනක මුදලක් සොයා ගන්නවා. මේ මුදල සහ සැකකරුවන් දෙන්නෙක් අත්අඩංගුවට ගන්නවා. ඉන් පසුව මේ මුදල උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් විමසීම් කරනවා. නමුත් මේ අයට ඒ පිළිබඳ අනාවරණය කරන්නට හැකි වන්නේ නැහැ. මේ හරහා සිදුකරන ලද විමර්ශන මඟින් හයදෙනෙක් අත්අඩංගුවට ගන්නවා. මේ සියලු දෙනා මෙම වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් අනාවරණය කරන්නට අසමත් වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ වෙනත් අපරාධයකින් උත්පාදිත ධනය ලෙස සැකකර මේ පිරිස අත්අඩංගුවට ගන්නවා. මේ විමර්ශන වැඩිදුරටත් සිදුකිරීමට පොලිස්පතිවරයා විසින් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය වෙත පවරනවා. ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site